Tuesday, May 13, 2025
Follow Us
බැඳුම්කර වංචාව : අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව නඩු

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අද (13) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා.

2015 පෙබරවාරි 27 වැනිදා දින සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10,058 ක්‌ වටිනා භාණ්‌ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය සිදු කිරීමේ අධිචෝදනා සියලුම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කිරීමට නියමිතය.

එමෙන්ම අර්ජුන මහේන්ද්‍රන් සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන අයට විරුද්ධව භාණ්‌ඩාගාර බැඳුම්කර රුපියල් බිලියන 10,058 ක්‌ සම්බන්ධයෙන් බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක්‌ රජයට සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇත. අදාළ වෙන්දේසියේදී සීමාසහිත පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගම විසින් රුපියල් බිලියන 15 කට ලංසු තැබීමෙන් රුපියල් බිලියන පහක්‌ වටිනා භාණ්‌ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීම මෙන්ම ස්‌කන්ධ සහ සුරැකුම්පත් ආඥ පනතේ 56 වැනි වගන්තිය යටතේ මහ බැංකු අභ්‍යන්තර තොරතුරු ලංසු තැබීම සඳහා භාවිතා කිරීමේ චෝදනාත් එල්ල වී ඇත. අනෙකුත් විත්තිකරුවන්ට මහ බැංකු අභ්‍යන්තර තොරතුරු ලබාදීමට අනුබල දීමේ චෝදනා නඟා ඇත.

ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම, අර්ජුන් ජෝශප් ඇලෝසියස්‌, කසුන් ඕෂධ පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්‌, ප්‍රශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් හා අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 23 ක්‌ යටතේ නඩු පැවරීමට අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා සිටියේ පසුගිය ජුනි මස 07 වෙනිදායි.

(Neth)