Sunday, November 29, 2026
Follow Us
ජනාධිපති අරමුදලින් මධ්‍යම පළාතේ 2025 උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
- උසස් පෙළ විශිෂ්ටයන්ට රුපියල් ලක්ෂයක මූල්‍යාධාරයක් සමඟ ඇගයීම් සහතිකයක්
 
අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ මධ්‍යම පළාත් වැඩසටහන ඊයේ (29) පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී පැවැත්විණි.

 

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික්කයකින් එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් මෙහිදී ඇගයීමට ලක් කෙරෙන අතර, ඒ සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනමනු ලැබීය.
 
ඒ අනුව, මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි විෂයධාරා 06 යටතේ පළවන ස්ථානයේ සිට විසිවන ස්ථානය දක්වා ලබාගත් සිසුන් 358 දෙනෙකු මෙහිදි ඇගයීමට ලක් කෙරිණි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උසස් පෙළ සමත්ව ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර ලබන සිසුන් සංඛ්‍යාව මේ වසරේ සිට දෙගුණයකින් ඉහළ නංවා තිබීම විශේෂත්වයකි.
 
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා
 
මිට වසර 2500ට විතර කලින් හිටපු දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් කියලා තියෙනවා අධ්‍යාපනය මොළයට වගේම හදවතටත් ලබාදිය යුතුයි කියලා. හදවතට අධ්‍යාපනය ලබාදෙන්න අසමත් වුණොත් අපේ අධ්‍යාපන අරමුණෙන් සාර්ථක වන්නේ සියයට පනහක් පමණයි. එහෙම අධ්‍යාපනයක් ලබාදීම භයානකයි. අපි උත්සාහ කරන්නේ අපේ දරුවන්ට මොළයට වගේම හදවතටත් අධ්‍යාපනය ලබාදෙන්න. අපිට අවශ්‍ය මේ අධ්‍යාපනය තුළ තමන්ගේ දෙමාපියන්ටෙ, ගුරුවරුන්ට, පාසලට, ගමට රටට, පරිසරයට ආදරය කරන පරපුරක් නිර්මාණය කරගන්නයි. සී.ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගැනීමෙන් අපේ අධ්‍යාපනයේ පළමු යුග පෙරළිය සිදුවුණා. ඒක කළෙත් එතුමා ගොඩාක් දුෂ්කරතා මැද. දැන් අපි එහි දෙවැනි යුග පෙරළිය ආරම්භ කර තිබෙනවා.
 
ජනාධිපති අරමුදලෙන් අපි 2023-2024 වසර වලදී උසස් පෙළ සමත් දරුවන් අතරින් ශිෂ්‍යාධාර ලබාදුන්නේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම සමත් දහදෙනෙකුටයි. අපි 2025 වසරේ සිට දිස්ත්‍රික්කයක් තුළ ඒ ඒ විෂය ධාරාවන් යටතේ උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන් 20 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදෙන්න. ඒ අනුව, අද අපි මෙතනදී මධ්‍යම පළාතේ සිසුන් 358ක් දෙනෙකුට මිලියන 35.8ක් ශිෂ්‍යාධාර ලෙස ලබාදෙනවා. අපි ජනාධිපති අරමුදලෙන් සිසුන්ට ඇස් කණ්නාඩි ලබාදීම ආරම්භ කර තිබෙනවා. විශ්වවිද්‍යාල වරම් ලැබූ ආබාධිත සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදෙනවා. ධීවර රැකියාව නිසා හෝ අලි ඇතුන් පහර දීමෙන් හෝ දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යාධාර ලබාදෙනවා. ඒ වගේම වෛද්‍යාධාර අවශ්‍ය රෝගීන්ට වෛද්‍යාධාර ලබාදෙනවා. දැන් ඒවා ඉස්සර වගේ මැති ඇමතිවරුන්ට නොවෙයි, නියම ලෙසම ආධාර අවශ්‍ය අයටයි ලැබෙන්නේ
.
මේ දවස්වල වැටුප් වැඩි කිරීමක් ගැන කතා කරනවා. භාණ්ඩාගාරයේ මුදල් පිරිලා ඒ නිසා එයින් කොටසක් දෙන්න කියලා කියනවා. මමත් පොඩි කාලේ තාත්තාගෙන් බයිසිකලයක් ඉල්ලලා ඇඬුවා. මම අඬනකොට තාත්තා ඒක අරන් දුන්නා නම්, මට විතරක් නොවෙයි මගේ අය්යටයි, මල්ලිටයි දෙන්නටමත් අරන් දෙන්න වෙනවා. එහෙම වුණා නම් තාත්තගේ අතේ තිබුණ මුදල් සේරම ඉවර වෙන්න තිබුණා. ඒ නිසා තාත්තා ඒ ඉල්ලීම ඉටු කළේ නැහැ. එදා මට තාත්තා ගැන තරහා යන්න ඇති. ඒත් තාත්තා හරියට මුදල් කළමනාකරණය කළ නිසා අපිට හොඳට ඉගෙන ගන්න හැකි වුණා. ඒ නිසා මාව වෛද්‍යවරයෙක් කරන්න තාත්තට හැකි වුණා. රටකටත් එහෙම තමයි හොඳ මුදල් කළමනාකරණයක් අවශ්‍යයි. අපේ තියෙන මුදල් සේරම එක දේකට වියදම් කරන්න බැහැ. කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ඒවා හරියට කළමණාකරනය කළ යුතුයි.
 
මට කථානායකවරයා ලෙස මේ අවුරුදු දෙකට රුපියල් මිලියන 507ක් ලැබිලා තිබෙනවා. නමුත් මම වියදම් කරලා තියෙන්නේ එයින් මිලියන184ක් විතරයි. අනෙක් සියල්ල මම ඉතිරි කළා. මම විතරක් නෙවෙයි අපේ ජනාධිපති සහෝදරයාගේ සිට පහළම මන්ත්‍රීවරයා දක්වා අපි අපිට ලැබෙන මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරලා රටට ඉතිරි කර තිබෙනවා මිසක් කන්හැන්දෙන්වත් බෙදාගෙන නැහැ. එහෙම තමයි අපි රට හදන්න නම් කැපවීම් කරන්න වෙනවා.
 
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හිංසක විජේමුණි මහතා
අධ්‍යාපනය ජයග්‍රහණ අත්පත් කර ගැනීම අපේ පෞද්ගලික අවශ්‍යතාවයක් විතරක් නෙවෙයි. ඒක පොදු අවශ්‍යතාවයක්, පොදු වගකීමක් ද වෙනවා. ඒ නිසා අධ්‍යාපනයට රජය යම් මුදලක් ආයෝජනය කරනවා නම් එයින් උපරිම ප්‍රයෝජන ගැනීම අපේ පොදු වගකීමක්. අද මෙතනට මේ ඇවිත් ඉන්න ඔබ සියලු දෙනා ඔබ වෙනුවෙන්, රට දැරූ වියදමට නිසි සාධාරණය ඉටු කරමින්, එහි ඵල නෙළාගෙන තියෙනවා. ඉදිරියට ඔබට පැවරෙන වගකීම තව තවත් වැඩි වෙනවා.
 
රටක සංවර්ධනය සම්බන්ධයෙන් පෙර තිබුණු මිනුම් දඬු දැන් වෙනස් වෙලා. ජනතාවගේ අධ්‍යාපන මට්ටම නිර්මාණශීලී බව එයට එකතු වෙලා. ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් යම් තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා. AI භාවිතා කර යම් නිර්මාණයක් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් එය එකතු වී ඇති දත්ත මත සීමා වෙනවා. ඉන් ඔබ්බට ගිය නිර්මාණශීලී බවක් ගොඩනැගීමට ඔබේ හැකියාව පදනම් වෙනවා. එවැනි නිර්මාණශීලී පරපුරක් ගොඩනැගීම සඳහා වූ පදනම අපි දැන් යොදා තිබෙනවා.
 
අපේ සාර්ථකත්වයේ නිර්ණායක අපි විසින් ගොඩනගා ගත යුතුයි. වෛද්‍යවරයෙක් ලෙස මගේ සාර්ථකත්වය පවතින්නේ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සුව වන තත්ත්වය මතයි. නමුත් සමහර විට මම භාවිතා කරනවා වාහනය මොකක්ද? ඒකේ පහසුකම් මොන වගේද මම අඳින පළඳින විදිහ මොකක්ද? ඒක මතත් නිර්ණායක හදාගන්න පුළුවන්. නමුත් ඒවායින් සමාජයට වැඩක් වෙන්නේ නෑ. මුදල් මත පදනම් වන නිර්ණායක වලින් සාර්ථකත්වය මනින පුද්ගලයෙක් වුණොත් ඔබ හැම විටම ඔහේ දුවන මිනිහෙක් වෙයි. නමුත් රටට අවශ්‍ය එහෙම අය නෙවෙයි. නිර්මාණශීලී මිනිසුන්. එවැනි පුද්ගලයින් බවට ඔබ පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර හර්ෂණ දිසානායක, ඊ. එම්. බස්නායක සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු මධ්‍යම පළාතේ මහජන නියෝජිතයෝ ද, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, විදුහල්පතිවරු, ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු දරුවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.