‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාල අඩාල කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ වෙරළාසන්න හා ජාත්‍යන්තර මුහුදු කලාප ආවරණය වන පරිදි අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පැවසීය.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ඊයේ (27) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ධජ රහිත විදේශීය යාත්‍රාවක් සමඟ විදේශීය ජාතිකයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම යාත්‍රාවේ තිබූ සැකකටයුතු ඇසුරුම් පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 670ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත.
ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය, කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා සිදුකෙරෙන තොරතුරු හුවමාරුව, චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික ක්‍රමවේද සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සිදුකරන ඒකාබද්ධ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ මෙවැනි සාර්ථක වැටලීම් සිදුකිරීමට නාවික හමුදාවට හැකි වී ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම ජාතික ආර්ථිකයට, සමාජ සංවර්ධනයට මෙන්ම තරුණ පරපුරට සහ පාසල් දරුවන්ට ද දැඩි අහිතකර බලපෑම් එල්ල කරන බැවින්, නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ධව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තවදුරටත් තීව්ර කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඒකාබද්ධව සිදුකළ වැටලීම් මඟින් රුපියල් බිලියන 116කට අධික දළ වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවත්, මත්ද්‍රව්‍ය මර්දනය සඳහා නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීම සහ ආරක්ෂක අංශවල මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට දායක වූ නාවික හමුදාව වෙත ජනාධිපතිවරයා වෙනුවෙන් සහ සමස්ත මහජනතාව වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බව ද පැවසූ අමාත්‍යවරයා , මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු 1818 හෝ 1997 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, නාවික හමුදාධිපතිවරයා සඳහන් කළේ නවීන තාක්ෂණික මෙවලම් සහ සමුද්‍රීය නිරීක්ෂණ පද්ධති භාවිත කරමින් සිදුකළ මෙම මෙහෙයුම නාවික හමුදාවේ සාර්ථක විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවයි. අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන්ගෙන් ඉදිරි විමර්ශන සඳහා වැදගත් තොරතුරු ලබාගැනීමටත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල හඳුනාගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මෙහෙයුමත් සමඟ 2026 වර්ෂයේ මේ දක්වා නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් විදේශීය යාත්‍රා හතරක් ඇතුළුව යාත්‍රා 66ක් සහ විදේශීය ජාතිකයන් 18 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 379 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර තිබේ.
මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන සහ නියෝජ්‍ය අධ්යක්ෂ නාවික නීති සේවා කොමාණ්ඩර් චතුරිකා ජයමිනී යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.