Friday, April 03, 2026
Follow Us
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නීතිපතිවත් කැඳවයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නීතිපති දප්පුල ලිවේරා මහතාව ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සේවයෙහි නියුතු කිසිදු ආරක්ෂක අංශ නිලධාරියකු නොයවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

එම ප්‍රකාශයෙන් අනතුරුව නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයන ලෙසටය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් කැඳවන්නේ නම් ඕනෑම රාජ්‍ය නිලධාරියකු අනිවාර්යයෙන්ම එම කැඳවීම ප්‍රකාරව එම කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතුමය. එය වැළැක්වීමට කිසිවකුට බලයක් නැත.

ඒ අනුව තමන් විසින් කරන ලද කැඳවීමක් වැළැක්වීමට නීතිපතිවරයා ක්‍රියා කර ඇත්තේ කවර බලයක් යටතේදැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

(LNW)