Wednesday, November 25, 2026
Follow Us
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ බිබිල , මැදගම පවුල් 10කට නව නිවාස.

මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ – 'දිට්වා' ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස අහිමි වූ පවුල් දහයක් වෙනුවෙන් නිවාස අහිමිවූ එක් පවුලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක (රු. 5,000,000) වියදමින් ඉදිකරන ලද අංගසම්පූර්ණ නව නිවාස 10ක් ජනතා අයිතියට පත් කිරීම අද (25) සිදු කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික්කයේ, මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නන්නපුරාව, බිබිලමුල්ල ප්‍රදේශයේදී මෙම නිවාස භාරදීමේ නිල උත්සවය පැවැත්විණි.

ආපදාව සිදුවී වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත විපතට පත් ජනතාවගේ නිවාස ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නිවාස ඉදිකර තිබීම විශේෂත්වයකි.

වෙළෙඳ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය, ආර්.එම් ජයවර්ධන මහතා, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම් සරත් කුමාර මහතා සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රභූවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම නව නිවාස ප්‍රතිලාභීන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන් මෙන්ම නිවාසලාභී පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ.