Wednesday, November 25, 2026
Follow Us
කින්නියා අල් අක්ෂා විද්‍යාලයේ ශ්‍රවණාගාරය කඩා ඉවත් කිරීමේදී යම් වරදක් සිදුව ඇති බවට තහවුරු වන්නේ නම් නීතිමය පියවර ගන්න සූදානම් - අගමැතිනිය 

ත්‍රිකුණාමලය, කින්නියා අල් අක්ෂා විද්‍යාලයේ පිහිටා තිබූ එම්. ඊ. එච්. මහරූෆ් ශ්‍රවණාගාරය භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවති බැවින් අදාළ බලධාරීන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ නිර්දේශ මත 2022 වසරේ පෙබරවාරි 15 වන දින කඩා ඉවත් කර ඇති බවත් යම් වරදක් එහිදී සිදුව ඇති බව වාර්තා වන්නේ නම් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නොවැම්බර් 25වන දින පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

1994 වසරේදී ඉදිකරන ලද මෙම ශ්‍රවණාගාරය කඩා ඉවත් කිරීම සඳහා කින්නියා අල් අක්ෂා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඉල්ලීම මත, කින්නියා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ සහ දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගේ නිර්දේශ ලැබී තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඊට අමතරව නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ සහ පළාත් ඉංජිනේරුවරයාගේ නිර්දේශයන්ට මෙන්ම, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශය භාර අතිරේක ලේකම්වරයාගේ නිර්දේශයන්ට අනුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ.

මෙම ශ්‍රවණාගාරය ඉවත් කිරීමෙන් පසු දැනට ඒ සඳහා පන්ති කාමර ගොඩනැගිල්ලක් භාවිතා කරනවා.
මීට අදාළ සියලුම නිල ලේඛන පාර්ලිමේන්තුවට සභාගත කිරීමට මම පියවර ගන්නවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට හැකි බවත්, යම් වරදක් සිදුව ඇති බවට තහවුරු වුවහොත් ඊට එරෙහිව නීතිමය කටයුතු කිරීමට රජය සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය.