භූතානයේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සැප්තැම්බර් 02 වනදා තිම්පු නුවර තාෂිච්ඡෝඩ්සොං (Tashichhodzong) හිදී භූතානයේ ජිග්මේ කෙසාර් නම්ගියෙල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) රජතුමා හමු වූවාය.
මෙම හමුවේදී භූතානයේ ඉදිරි සංවර්ධන ප්රමුඛතා මෙන්ම දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරගත හැකි ක්ෂේත්ර පිළිබඳව අවධානය යොමු විය.
භූතානයේ සංවර්ධන සැලසුම්වලට අදාළව, ශ්රී ලංකාව සතු පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම ලබාගැනීමට ඇති කැමැත්ත භූතාන රජතුමන් මෙහිදී ප්රකාශ කළේය. තවද, දෙරට අතර ආයෝජන ප්රවර්ධනය කිරීම සහ භූතානය තුළ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණ.
භූතානය දැනට මුහුණ දෙන ජනගහන අභියෝග, විශේෂයෙන්ම තරුණ පරපුර විදේශගතවීම ඉහළ යාම සහ එය රටේ අනාගත ශ්රම බලකායට මෙන්ම ජනගහනයට එල්ල කරන බලපෑම පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
දෙරටේම තිරසාර සංවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේත්, දෙරටේ අත්දැකීම් හා භාවිතයන් (best practices) හුවමාරු කරගැනීමේ වැදගත්කම ද මෙම හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.