යාපනය - ඩෙල්ෆ්ට් (නෙඩුන්තීව්) දූපතේ මෙතෙක් ස්ථිර ඉන්ධන පිරවුම්හලක් නොතිබූ පසුබිමක, එහි වෙසෙන ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික ජන බලවේගය රජය විසින් නව ඉන්ධන පිරවුම්හලක් ඉදිකරනු ලැබ තිබේ.
අදාළ ඉන්ධන පිරවුම්හල සඳහා ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කර ඇත. ඒ අනුව, ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ ඉන්ධන තොගය, යාපනය කන්කසන්තුරේ ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් නෞකාවක් මගින් ඉතා ආරක්ෂිතව ඩෙල්ෆ්ට් දූපත වෙත ප්‍රවාහනය කෙරිණි.
එලෙස රැගෙන ගිය ඉන්ධන, අභිනවයෙන් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල වෙත සාර්ථකව ගොඩබෑමට පියවර ගෙන තිබේ. මේ හරහා ඩෙල්ෆ්ට් දූපත් වැසියන් සඳහා ඉන්ධන බෙදාහැරීම විධිමත් හා පහසු කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් වී ඇත.
ඩෙල්ෆ්ට් ජනතාව දිගු කලක් පුරා මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වූයේ ඉන්ධන ලබා ගැනීමේදී පැවති දැඩි දුෂ්කරතාවයි. ඒ සඳහා දූපතේ සිට කුරිකට්ටුවාන් ඇතුළු ප්‍රදේශ වෙත යාමට සිදුවීම හේතුවෙන්, අධික ප්‍රවාහන වියදම් මෙන්ම කාලය නාස්ති වීම ඇතුළු ගැටලු රැසකට ජනතාවට මුහුණ දීමට සිදු විය.
එවන් පසුබිමක, ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් අනතුරුව ඩෙල්ෆ්ට් දූපතේ සංවර්ධනය සහ ජනතාවගේ මූලික අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එහි ප්‍රථම වරට ස්ථිර ඉන්ධන පිරවුම්හලක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.
පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ අවස්ථාවේදී ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබිණි. අනතුරුව, 2026 වසරේ ජූලි මාසයේදී ඒ සඳහා මුල්ගල් තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.
මේ වන විට එම පිරවුම්හල වෙත ඉන්ධන රැගෙන ගොස් සාර්ථකව ගොඩබෑම, ඩෙල්ෆ්ට් ජනතාවගේ දිගුකාලීන අපේක්ෂාවක් යථාර්ථයක් බවට පත්වීමේ වැදගත් සන්ධිස්ථානයකි.
විශේෂයෙන්ම ධීවරයන්, ගොවීන්, ප්‍රවාහන සේවාවල නියුතු වූවන්, සුළු ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ට මෙම ඉන්ධන පිරවුම්හල මගින් විශාල ප්රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම හදිසි වෛද්‍ය අවශ්‍යතා, ධීවර කර්මාන්තයේ කටයුතු සහ දූපතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ද මෙය සෘජු දායකත්වයක් සපයනු ඇත.
දූපත්වාසී ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සහ දිගුකාලීනව පවතින ගැටලුවලට තිරසර විසඳුම් ලබා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකිය.
ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකර ඒ සඳහා ඉන්ධන ද ආරක්ෂිතව ප්‍රවාහනය කර ගොඩබෑම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය දැඩි සතුට හා උණුසුම් පිළිගැනීම පළ කරති. තම දිගුකාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමට පියවර ගත් රජයට සහ ඊට දායක වූ සියලුම පාර්ශ්වයන් වෙත දූපත් වැසියෝ සිය කෘතඥතාව සහ ප්‍රශංසාව පුද කර සිටිති.