Saturday, September 26, 2026
Follow Us
වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණය පිළිබඳ දැනුම්දීමක්
වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණයට යටත් කර ඇති උපකරණ සන්තකය ලබාගැනීම සඳහා බදු දීමනාකරු වන කල්බදු සමාගම් හා මූල්‍ය සමාගම් විසින් ඒ පිළිබඳව ක්‍රියාකළ යුතු ආකාරය 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ සඳහන් කර තිබේ. 
මෙම පනත පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන්ට අදාළ වන සියලුම නීතිමය විධිවිධාන සම්බන්ධව මේ වන විට උපදෙස් පත්‍රිකා මඟින් දැනුම්දී ඇත.
බදු දීමනාකරු හෝ ඔහුගේ බලය පැවරූ නියෝජිතයා විසින් පූර්ව දැනුම්දීමක් කර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින විට සාමය ආරක්ෂා කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ඇත.
කෙසේ නමුත් වාහන/උපකරණ අත්පත් කර ගැනීමේ කාර්ය සඳහා පොලිස් නිලධාරීන් මැදිහත්වීමක් සිදු නොවන අතර අදාළ වාහනයේ/උපකරණයේ සන්තකය ලබාගැනීමට බදු දීමනාකරුට හැකියාව ලැබෙන්නේ බදු ගැනුම්කරුගේ ප්‍රතිරෝධයක් නොමැති විටදීය.
එලෙස වාහනයේ/උපකරණයේ සන්තකය ලබාගැනීමේදී ප්‍රතිරෝධය පෑමක් එල්ල වන විට බදු දීමනාකරු විසින් සිදුකළ යුතු වන්නේ පනතේ ප්‍රතිපාදන අනුව දිසා අධිකරණයේ නඩුවක් පවරා ගැනීමයි.
2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ ප්‍රතිපාදන වලට පටහැනිව ක්‍රියා කිරීම මඟින් බදු දීමනාකරු හෝ ඔහුගේ නියෝජිතයා වරදක් සිදු කරනු ලබයි.
ඉහත ක්‍රමවේදයට පටහැනිව ක්‍රියාකිරීමේදී, බදු ගැනුම්කරුවන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි පොලිස් ස්ථාන මඟින් භාර ගනිමින් විමර්ශන සිදු කරන අතර එහිදී වෙනත් වරදක් එනම් කොල්ලකෑම, සොරකම, අයුතු ඇතුළුවීම යනාදී වැරදි අනාවරණය වූ විට ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.