පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේදී මතුව තිබූ ගැටලු විසඳා ගැනීමට ජනපති ප්‍රධානත්වයෙන්, අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් සාකච්ඡාවක්
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමත්, එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාධනීය විසඳුම් රැසකට එළඹීමත් මෙහිදී සිදු විය.
මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමග නැවතුණු පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක අයවැය ප්‍රතිපාදන වෙන් කෙරිණි.
මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 40,000ක් වූ කුඹුරු ඉඩම් යල, මහ කන්නයේ අස්වද්දා වගා තීව්‍රතාව ඉහළ නැංවීම, පානීය ජල සම්පාදනය, ජලවිදුලි උත්පාදනය සහ ප්‍රදේශයේ ගංවතුර පාලනය, සංචාරක කලාපයක් විවෘත කිරීම, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සහ වනඅලි ගැටලු කළමනාකරණය ආදිය මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂිතය. පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය 2029 - 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණ වන අතර එය ඉදිවීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වේ.
ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, අවතැන් වන ජනතාවට පැවතියාට වඩා හොද ජීවන තත්ත්වයක් ලබා දිය හැකි පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ඒ අනුව, එම ජනතාව වෙනුවෙන් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති හඳුන්වා දීම, පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් ජාල සහ අපනයන සමාගම් සමග ඇති කර ගන්නා මිලදී ගැනීමේ ගිවිසුම් වලින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් සකස් කර දීම ඇතුළු සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
වනජීවී දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව අලි වැටක් ඉදිකිරීම සහ නඩත්තු කිරීම මෙන්ම සාර්ථක දිගුකාලීන ජීව විද්‍යාත්මක විසඳුමක් ලෙස තල් වැට වැනි ස්වභාවික වැටවල් ස්ථාපනය කිරීමට අදාළව ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සිදුකළ යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් නතර කර තිබූ, "කුඩා විලච්චිය වැව ව්‍යාපෘතිය" නැවත ආරම්භ කිරීම ඇතුළු සුළු සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් බව මෙහිදී පෙන්වා දුන් තන්තිරිමලය රාජමහා විහාරාධිපති, පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය සිදු කරන කැපවීම අගය කරන බවයි. ව්‍යාපෘතිය පිළිබඳ විශ්වාසයක් තබාගත හැකි අන්දමින් අද දින තීන්දු තීරණ රැසකට එළැඹීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදි සතුටු පළ කළහ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුද, ප්‍රදේශීය ලේකම්වරුද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් ප්‍රධානීන් සහ නියෝජිතයෝද, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ප්‍රධාන ව්‍යාපෘති අධ්යක්ෂ අනුර නෙළුගොල්ල මහතා ඇතුළු ව්‍යාපෘති නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.