බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර්වේද ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (16) ඌව පළාත් ආණ්ඩුකාර, නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 240කි.
දිගුකාලීන අවශ්‍යතාවයක් සපයමින් රුපියල් මිලියන 103ක පිරිවැයකින් විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමට නියමිත අතර, පසුගිය වසරේදී බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස ශ්‍රේණිගත කිරීමෙන් පසු දේශීය වෛද්‍ය ක්ෂේත්රය ප්‍රවර්ධනය උදෙසා රුපියල් මිලියන 136ක ප්‍රතිපාදන යටතේ ආයුර්වේද ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කරන ලදී.
පසුගිය කාලසීමාව තුළ ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික සජිත් මිහිර බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, ඌව පළාත් සෞඛ්‍ය ලේකම්තුමන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.