කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද ඒකක හා වැඩිදියුණු කරන ලද යටිතල පහසුකම් රැසක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (16) රෝගී සත්කාර සේවාව සඳහා නිල වශයෙන් එක් කෙරිණි.
රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම හා සුවපහසු සෞඛ්ය සේවාවක් සැලසීමත්, රෝහලේ පවතින සේවා ධාරිතාව සහ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් මෙම සංවර්ධන හා නවීකරණ කටයුතු සිදුකර ඇති අතර, ඒ සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය මගින් රුපියල් මිලියන 134කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක් සිදුකර ඇත.
මෙම සංවර්ධන වැඩසටහන යටතේ රෝහලේ බාහිර රෝගී අංශය, ප්රධාන ඖෂධාලය, සායන, වාට්ටු වෙත පිවිසෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, සෞඛ්ය අධ්යාපන හා මහජන සෞඛ්ය සේවාවන් සිදුකරන ගොඩනැගිල්ල සහ මනෝ වෛද්ය ප්රතිකාර වාට්ටුව ඇතුළු රෝගී සත්කාර සේවාවට සෘජුව සම්බන්ධ ඒකක රැසක් නවීකරණය කර සේවා කටයුතු සඳහා එක් කෙරිණි.
මීට අමතරව, වෛද්යවරුන්ගේ නේවාසිකාගාරය, හෙද විවේක කාමරය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේක කාමරය ද නවීකරණය කර ඇති අතර, අලුතින් ඉදිකරන ලද සුළු සේවා පාලක කාර්යාලය ද අමාත්යවරයා විසින් විවෘත කර සේවා කටයුතු සඳහා එක් කරන ලදී.
එමෙන්ම අලුත්වැඩියා කරන ලද ත්රීරෝද රථයක්ද රෝහලේ පරිහරණය සදහා මෙහිදී භාරදෙන ලදී.
මෙම සංවර්ධන හා නවීකරණ කටයුතු හරහා රෝගීන්ට වඩාත් පහසු, සුවපහසු හා කාර්යක්ෂම සේවා පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වී ඇති අතර, රෝගී සත්කාර සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම සෞඛ්ය කාර්ය මණ්ඩලයට වඩාත් යහපත් සේවා පරිසරයක් සලසා දීමට ද හැකි වී තිබේ.
විශේෂයෙන් රෝගීන්ගේ රෝහල තුළ ගමන් කිරීමේ පහසුව, සායන හා බාහිර රෝගී සේවාවන් වෙත ප්රවේශ වීමේ පහසුකම්, වාට්ටු ආශ්රිත සේවා පරිසරය සහ සෞඛ්ය කාර්ය මණ්ඩලයේ සේවා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙම සංවර්ධන කටයුතුවලදී විශේෂ අවධානය යොමු කර ඇත.
මෙහි දී මාධ්ය වෙත අදහස් දක්වමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා භාණ්ඩාගාරයේ පවතින රාජ්ය මුදල් නිසි කළමනාකරණයකින් හා ප්රමුඛතා හඳුනාගනිමින් කාර්යක්ෂමව වියදම් කිරීම තුළින් සෞඛ්ය සේවාවට අවශ්ය මානව සම්පත බඳවා ගැනීමට හැකියාව ලැබී ඇති පැවසීය.
එමෙන්ම, රෝහල්වල ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්යාපෘතිවල ඉදිකිරීම් ආරම්භකර ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට අවශ්ය පියවරද මේ වන විට ගනිමින් සිටින බවත්, ඒ සඳහා රුපියල් බිලියන 45ක මුදලක් වෙන් කර ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය.
ප්රතිකාර සේවාවන් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්ය අත්යවශ්ය වෛද්ය උපකරණ රෝහල් වෙත ලබාදීමට ද කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසූ අමාත්යවරයා, ඒ යටතේ මේ වන විට අතිනවීන කැත් ලැබ් 16ක් දිවයිනේ ප්රධාන රෝහල් වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවද පැවසීය.
ඒ සඳහා රුපියල් මිලියන 3,150ක මුදලක් වැය කරන බවත්, මීට අමතරව රෝහල්වල ප්රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්ය CT සහ MRI යන්ත්ර ඇතුළු නවීන වෛද්ය උපකරණ ලබාදීමට ද කටයුතු කරමින් සිටින බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, ලබන වසරේ සෞඛ්ය සේවාව සඳහා අවශ්යවන වෛද්ය උපකරණ පිළිබඳ ලැයිස්තුව මේ වන විට සකස් කරමින් පවතින බවද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නිදහස් සෞඛ්ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවමින් ජනතාවට අවශ්ය සෞඛ්ය සේවා කඩිනමින්, කාර්යක්ෂමව හා අඛණ්ඩව ලබාදීම සඳහා රෝහල් පද්ධතියේ භෞතික හා මානව සම්පත් ධාරිතාව ශක්තිමත් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ප්රමුඛ අවධානයක් වී තිබේ.
ඒ අනුව, දිවයින පුරා රෝහල්වල පවතින අවශ්යතා හඳුනාගෙන ඒවාට ප්රමුඛතා පදනමින් විසඳුම් ලබාදීම, රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ජනතාවට වඩාත් ප්රවේශ විය හැකි සෞඛ්ය සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් අවශ්ය සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කිරීමට අමාත්යාංශය පියවර ගනිමින් සිටී.
රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යනු ගොඩනැගිලි හා භෞතික සම්පත් වැඩිදියුණු කිරීමකට පමණක් සීමා නොවී, රෝගියාට වඩාත් මානුෂීය, කාර්යක්ෂම හා ගුණාත්මක සත්කාර අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සිදුකරන පුළුල් ක්රියාවලියක් බවද මෙහිදී අවධාරණය කෙරිණි.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකරන ලද මෙම සංවර්ධන හා නවීකරණ කටයුතු ද එම වැඩපිළිවෙළේ වැදගත් ඉදිරි පියවරක් වන අතර, රෝහලේ ඉදිරි අවශ්යතා හඳුනාගෙන ඒවාට කඩිනම් හා ප්රායෝගික විසඳුම් ලබාදෙමින් ප්රදේශයේ ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම හා ජනතාව කේන්ද්ර කරගත් සෞඛ්ය සේවාවක් සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්ය පියවර අඛණ්ඩව ගනු ඇත.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නන්දන පද්මකුමාර, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂිකා වෛද්ය මධුභාෂිනි කරුණාරත්න, නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය නයනජිත් කොමසාරු යන මහත්ම මහත්මීන් මෙන්ම, විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.