කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ කේන්ද්‍රස්ථානයක් මෙරට පිහිටුවීම සඳහා චීන නියෝජිත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට අද (20) ගොවිජන මන්දිරයේදී එක්විය.
එහිදී යන්ත්‍රෝපකරණ කේන්ද්‍රස්ථානයක් (Machinery Hub) පිහිටුවීම සඳහා චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය තොරතුරු විමසන ලදී.
පස් සාම්පල් පරීක්ෂා කිරීම සඳහා ද චීන නියෝජිත පිරිස මෙහිදී එකඟතාවය පළ කළේය. මේ සඳහා විශ්ව විද්‍යාල මට්ටමින් සහය ලබා ගැනීමට අපේක්ෂිතය. මෙම සාකච්ඡාව සඳහා සම්බන්ධ වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ සමුපකාර සමිති කෙන්ද්‍ර කරගෙන යන්ත්‍රෝපකරණ ලබා දීම අවශ්‍ය බවයි. මෙහිදී සමුපකාර සමිති, අනෙකුත් සමිති මෙන්ම පෞද්ගලික අංශය සම්බන්ධ වී කටයුතු කිරීම වඩාත් සුදුසුය.
ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ අතර වී සහ අනෙකුත් බෝග බිම් සැකසීමට උවමනා යන්ත්‍ර, පසු අස්වනු හානිය වළක්වන යන්ත්‍ර, අගය එකතු කළ හැකි යන්ත්‍ර ආදිය ලබා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
විශේෂයෙන් කෘෂිකර්මාන්තය දියුණු මට්ටමකට ගෙන ඒමට තාක්ෂණයෙන් උසස් නවීන යන්ත්‍රෝපකරණ කෙරෙහි අවධානයක් යොමු විය යුතුය. එම යන්ත්‍ර භාවිත කිරීම මඟින් අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකිය. මේ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වඩා වැඩි උනන්දුවක් දක්වන අතර මේවා කඩිනම්ව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා සියලුදෙනාට අවධාරණය කරන ලදී.