ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති නියෝජිතයින් සහ එහි පරිපාලන ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රටේ බහුතර ජනතාවගේ මතය අපි හිතන දේ ම නොවෙයි. ජනතාවගෙන් විශාල පිරිසක් ඉල්ලා සිටින්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කරන ලෙසයි. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම විශාල ප්‍රමාණයකින් අවම කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ආදායම යම්කිසි ප්‍රමාණයකින් වැඩි කර තිබෙනවා. බාධාවන් විශාල ප්‍රමාණයකට මුහුණ දෙමින් බහුකාර්ය බලකායේ 3000ක් දුම්රියේ ස්ථිර සේවයට බඳවා ගනු ලැබුවා. මේ සියලු කටයුතු සිදු කළේ පසුගිය අවුරුද්දකුත් මාස 4ක කාලයක් තුළ.
තත්ත්වය මෙසේ තිබියදී ඉන්දික දොඩම්ගොඩ නැමැති දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු වෘත්තිය සමිති නායකයකු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ "බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණි අදූරදර්ශි, දූෂිතම පාලකයා ලෙස" චෝදනාවක් එල්ල කළා. කෝටි 5ක අල්ලස් ලබාගත් බව චෝදනා එල්ල කළා. නමුත් සත්‍ය වශයෙන්ම සිදු වූ කරුණු පිළිබඳ අමාත්‍යාංශය සියලුම නිලධාරීන් ඉදිරිපිට ඉන්දීය සමාගමේ නියෝජිතයින් සියලු කරුණු හෙළි කළා. මෙම ටෙන්ඩර් ලබාදී තිබෙන්නේ 2015 වසරේ සිට මා අමාත්‍ය ධුරයට පත් වීමටත් බොහෝ කලකට පෙරයි. දිගින් දිගටම මෙම වෘත්තීය සමිති නායකයින් විසින් සිදුකරන ලද බලපෑම් හේතුවෙන් ඩී එච් ඉන්දික නැමැත්තාගේ මහජන බැංකු ගිණුමට රු.460,000 සහ රු.3,100,000ක මුදලක් අවස්ථා දෙකක දී බර කළ බවට ලිඛිත සාක්ෂි සහිතව තහවුරු කලා. මෙලෙස කටයුතු කළ පුද්ගලයෙකු දූෂිතම අමාත්‍යවරයා ලෙස මට චෝදනා කිරීම සාධාරණද? මේ සියලු පදනම් විරහිත චෝදනා වෙනුවෙන් උපරිම සීමාව දක්වාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
පවතින ගැටලු පිළිබඳව අවබෝධ කරගනිමින් අනතුරුව දෙපාර්තමේන්තුවක් ලෙස තවදුරටත් මේ ගැටලු විසඳාගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීම උදෙසා, විශ්‍රාම වැටුප් ඇතුළුව දැනට පවතින සියලු වරප්‍රසාද ආරක්ෂා වන පරිදි දුම්රිය අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සාමාන්‍යාධිකාරිවරයා වෙනුවට අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් ආයතනයේ පාලන පරිපාලන කටයුතු මෙහෙයවීම ඒ තුළින් සිදු වනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව තවදුරටත් සොයාබැලීමේ වගකීම විශේෂඥ මණ්ඩලයකට බාර දෙනු ලැබුවා. එම කමිටුවේ වාර්තාව තවත් මාස දෙකකින් ලබාදීමට නියමිතයි.ආයතනයේ සියලුම වෘත්තීය සමිති ඇතුළු සේවකයින්ටත් ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. සමස්ථ පද්ධතියේම වෙනසක් තුලින් ගැටලු විසඳා ගැනීම වඩාත් සුදුසු බව මාගේ පුද්ගලික අදහසයි”
සාකච්ඡාවේ දී අදහස් දැක් වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා,
“දුම්රියේ සමස්ත රියදුරන් මේ වර්ජන වැඩපිළිවෙළේ නැහැ. රියදුරු සංගමය සභාපතිවරයා පවා මේ වැඩ වර්ජනයට සම්බන්ධ වූයේ නැහැ. නමුත් නිසි ආකාරයෙන් ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් සමස්ත දුම්රිය රියදුරු වර්ජනයක් ලෙස මෙය සමාජගත වුණා. නමුත් ඊට වගකිව යුත්තේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ගෙවුණු වසර ගණනාවක් පුරාවට දුම්රිය පාලනය කළේ මේ වෘත්තිය සමිති නායකයින් දෙදෙනා විසින්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තිය සමිති සියල්ලක්ම මේ තත්ත්වය පිළිබඳව දැනුවත්. ශ්‍රේණිගත වෘත්තිය සමිති කිසිවක් වෘත්තීය අරගල වලට දේශපාලනය සම්බන්ධ කර ගන්නේ නැහැ. නමුත් පසුගිය කාලයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වුණේ සියලුම සේවකයින් පීඩාවට පත් කරමින්.මෑත කාලීනව ඒ තත්ත්වය වෙනස් කිරීමට හැකියාව ලැබුණා. සැලසුම් සහගතව ක්‍රියාත්මක කෙරෙන ඇතැම් ක්‍රියාමාර්ග වලට දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් එකඟ නැහැ. වත්මන් අමාත්‍යවරයාට මේ ගැටලු විසඳීමට හැකියාව පවතින බව අප විශ්වාස කරනවා”