ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර Palexpo පරිශ්‍රයේදී පසුගියදා (ජූලි 09) පැවැත්වුණු "WSIS Forum 2026" (තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව) හි නියාමකයින්ගේ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා සහභාගී විය.
"ඩිජිටල් වෙළෙඳපොළ සඳහා වූ පාලන අත්‍යවශ්‍යතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම"යන තේමාව යටතේ පැවැති මෙම සැසියේදී අදහස් දැක්වීමක් සිදුකළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකාවේ "ජාතික ඩිජිටල් ආර්ථික උපායමාර්ගය 2030" මඟින් අපේක්ෂිත විශ්වාසදායක, සියලු දෙනා ඇතුළත්වන සහ ගෝලීය වශයෙන් තරඟකාරී ඩිජිටල් ආර්ථික දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා TRCSL ආයතනය විසින් ක්‍රියාවට නංවා ඇති නියාමන ප්‍රතිසංස්කරණ මාලාව ජාත්‍යන්තර නියෝජිතයන් හමුවේ පැහැදිලි කළේය.
විශේෂයෙන්ම, නවීන ඩිජිටල් වෙළෙඳපොළ තුළ ආයෝජන දිරිගැන්වීම සහ පාරිභෝගික සුරක්ෂිතතාවය සමබරව පවත්වා ගැනීම සඳහා TRCSL ආයතනය හඳුන්වා දී ඇති රේඩියෝ සංඛ්‍යාත වෙන්දේසි රීති හරහා විනිවිදභාවය සහ ආයෝජක විශ්වාසය තහවුරු වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. තවද, යටිතල පහසුකම් හවුලේ භාවිත කිරීමේ නීති මඟින් පිරිවැය අවම කරමින් ග්‍රාමීය සහ සේවා ඌනතා සහිත ප්‍රදේශ වෙත සන්නිවේදන සබඳතා වේගයෙන් ව්‍යාප්ත කිරීමට හැකිවී ඇති බව ද, පුළුල් කලාපීය සේවා තත්ත්ව නීති මඟින් සේවා සැපයුම්කරුවන්ගේ වගකීම සහ පරිශීලක අත්දැකීම් ඉහළ නංවා ඇති බව ද එතුමා සඳහන් කළේය.
සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් මූල්‍ය පරිසර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් වඩාත් ශක්තිමත් සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රාමුවක් ක්‍රියාත්මක කරන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, බලපත්‍ර ක්‍රමවේදය නවීකරණය කිරීම හරහා සන්නිවේදන සේවා, යටිතල පහසුකම් සහ කේබල් මධ්‍යස්ථාන සඳහා පැහැදිලි වර්ගීකරණයන් හඳුනාගෙන ඇති බවත්, එමඟින් නව ආයෝජන ආකෘති සඳහා පුළුල් අවකාශයක් විවෘත වන බවත් ප්‍රකාශ කළේය. ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් තාක්ෂණික දියුණුවක් පමණක් නොව, එය ශක්තිමත් ආයතනික පදනමක් සහ තිරසාර ක්‍රමවේදයක් මත ගොඩනැඟිය යුත්තක් බව පෙන්වා දෙමින්, ශ්‍රී ලංකාව GSR-26 ජාත්‍යන්තර පාලන මූලධර්මයන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට සාර්ථකව පරිවර්තනය කර ඇති බව පවසමින් හේරත් මහතා සිය දේශනය අවසන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි ගරු අමාත්‍යවරුන්, විදුලි සංදේශ නියාමන අධිකාරී ප්‍රධානීන් ඇතුළු ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂඥයින් රැසක් සහභාගී වී සිටියහ.