Friday, October 23, 2026
Follow Us

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.

ඊයේ(22) කොළඹදී පැවැති නෙදර්ලන්ත රාජධානියේ ජාතික දින පිළිගැනීමේ උත්සවයේදී අදහස් දක්වමින් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රජය සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නෙදර්ලන්තයේ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු, රාජකීය පවුල, රජය සහ ජනතාව වෙත සුබපැතුම් එක් කළ ආචාර්ය ප්‍රනාන්දු මහතා, අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ මිත්‍රත්වය මත පදනම් වූ දෙරට අතර හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සබඳතා සියවස් හතරකට අධික ඉතිහාසයක් දක්වා විහිදී යන අතර, විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1951 වසරේදී ආරම්භ විය. පසුගිය වසර 75ක කාලය තුළ දේශපාලන සංවාදය, වෙළෙඳාම සහ ආයෝජන, සංවර්ධනය, සංස්කෘතිය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය සහ සමුද්‍රීය කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙම හවුල්කාරිත්වය පුළුල් වී තිබේ.

නෙදර්ලන්ත පාලන සමයට අයත් බලකොටු, පල්ලි, ඇළ මාර්ග සහ ඓතිහාසික ගොඩනැඟිලි ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ කොටසක් ලෙස පවතින අතර, රෝම ලන්දේසි නීතිය ශ්‍රී ලංකාවේ නීතිමය උරුමයට ද බලපා තිබේ. එමෙන්ම ශ්‍රී ලාංකික සමාජයේ රාජ්‍ය සේවය, අධ්‍යාපනය, වෛද්‍ය ක්ෂේත්‍රය, වාණිජ කටයුතු සහ කලාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලන්දේසි බර්ගර් ප්‍රජාව සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

මෙම ඓතිහාසික සබඳතා අගය කරන අතරම, වර්තමානයේදී ස්වෛරී සහ සමාන හවුල්කරුවන් ලෙස දෙරට අතර සබඳතා ඉදිරියට ගෙන යන බව ද ආචාර්ය ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

දේශපාලන සංවාදය දෙරට අතර සහයෝගීතාවයේ වැදගත් පදනමක් ලෙස පවතී. 2025 ඔක්තෝබර් මාසයේදී හේග් නුවර පැවැති දෙරටේ දෙවැනි වටයේ දේශපාලන උපදේශන සාකච්ඡා මඟින්, විශේෂයෙන්ම සමුද්‍රීය සහ සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ පොදු අභිලාෂය යළි තහවුරු විය.

එමෙන්ම, 33 වැනි ආසියාන් කලාපීය සංසදයට සමගාමීව මැනිලා නුවරදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නෙදර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය ටොම් බෙරෙන්ඩ්සන් මහතා අතර පැවැති ඵලදායී හමුව ද මෙහිදී අගය කෙරිණි.

සමුද්‍රීය සහයෝගීතාව දෙරටටම වැදගත් අවස්ථා රැසක් උදාකර දෙන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබේ. තිරසාර සමුද්‍රීය සංවර්ධනය, සාගර පාලනය, සමුද්‍රීය ආරක්ෂාව, වරාය සංවර්ධනය සහ නිල් ආර්ථිකය යන ක්ෂේත්‍රවල දැනුම හා විශේෂඥතාව හුවමාරු කරගනිමින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ හැකියාව පවතී.

සංස්කෘතික සහයෝගීතාව ද දෙරට අතර සබඳතාවල වැදගත් අංගයකි. 2025–2028 කාලසීමාව සඳහා නෙදර්ලන්තයේ ජාත්‍යන්තර සංස්කෘතික ප්‍රතිපත්තිය යටතේ උපායමාර්ගික අවධානය යොමු කෙරෙන රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.

සංස්කෘතික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස, නෙදර්ලන්තයේ රයික්ස් කෞතුකාගාරයේ පැවැති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුරාවස්තු හයක් 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් ආපසු භාර දෙන ලදී. දෙරටේ සහයෝගීතාවයෙන් සිදු කළ පුරාවස්තු සම්භවය පිළිබඳ පර්යේෂණ මඟින් මෙම භාණ්ඩ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බව හඳුනාගෙන තිබිණි.

ආපසු භාර දුන් පුරාවස්තු අතර රන් කස්තානයක්, රිදී කස්තානයක්, රන් පිහියක්, මහතුවක්කු (Mahathuwakku – wall guns) දෙකක් සහ ලෙව්කේ දිසාවේගේ කාලතුවක්කුව ඇතුළත් වේ.

උඩරට රාජධානියෙන් ආරම්භ වූ මෙම පුරාවස්තු යටත්විජිත සමයේදී ලබාගෙන තිබූ අතර, ඒවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් ඉමහත් වැදගත්කමක් දරයි. මෙම පුරාවස්තු ආපසු භාරදීම අතීත උරුමයට ගරු කිරීම, අන්‍යෝන්‍ය ගෞරවය, සංහිඳියාව සහ සංස්කෘතික උරුමයන් වගකීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ දෙරටේ කැපවීම පිළිබිඹු කරයි. එම ක්‍රියාවලියේ දෙවැනි අදියර යටතේ තවත් පුරාවස්තු හයක් ආපසු ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවකු වන නෙදර්ලන්තය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, ජල සැපයුම, සෞඛ්‍ය සේවා, ආපදා කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවලට සහාය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ද නෙදර්ලන්තය වැදගත් වෙළෙඳපොළක් වන අතර, තිරසාර සහ සියලු දෙනාට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නෙදර්ලන්තයේ විශේෂඥතාව, නවෝත්පාදන සහ ආයෝජන තවදුරටත් වැදගත් වේ.

සංචාරක ව්‍යාපාරය ද දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කරන වැදගත් ක්ෂේත්‍රයකි. 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර සංචාරකයන් සංඛ්‍යාව 2,362,521ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.1ක වර්ධනයකි. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන රටවල් අතර නෙදර්ලන්තය නවවැනි ස්ථානයට පත්ව ඇති අතර, එම වසරේදී නෙදර්ලන්ත සංචාරකයන් 64,164 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවට පැමිණෙන නෙදර්ලන්ත සංචාරකයන් දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වේ.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ජැකොබ් ඩී බෝයර් මහතා (Mr. Wiebe Jakob De Boer) සහ එරට තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දක්වන අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සිය ස්තුතිය පළ කළේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම සමරන මෙම අවස්ථාවේදී, පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන නව අවස්ථා හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටී.