චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කළේ ය.
ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇතැයි ද අමාත්‍යතුමා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යතුමා මෙම යෝජනාව සිදු කළේ ඊයේ (29) චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවක දී ය.
මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළේ ය.
එමෙන් ම දැනට ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටියේ ය. එම ඉල්ලීම පිළිබඳව වහාම චීන රජයේ අවධානය යොමු කරවීමට ද තානාපතිවරයා එකඟ වූයේ ය.
මීට අමතරව දිත්වා කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද තානාපති සෙන්හොංග් මහතා ප්‍රකාශ කළේ ය.