Saturday, December 27, 2025
Follow Us
ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්‍රයට ඕස්ට්‍රේලියානු සහය

මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය යළි ගොඩනැගීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබා දීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, මැතිව් ඩක්වර්ත් මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා මෙන්ම, ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරු ද සහභාගී වූහ.

අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදු වූ දැඩි හානිය පිළිබඳව අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළු පරිමාණ ධීවර ප්‍රජාවට සිදු වූ බලපෑම, විනාශ වූ දැල් සහ ආම්පන්න මෙන්ම, සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හානියට පත් යාත්‍රා පිළිබඳව ද ඒ මහතා අවධානය යොමු කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, මහ කොමසාරිස්වරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළ අතර, පීඩාවට පත් ප්‍රජාව සඳහා ආධාර ලබා දිය හැකි සියලු මාර්ග පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය විසින් සොයා බලනු ඇති බවට සහතික විය.

මීට අමතරව, ඕස්ට්‍රේලියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ධීවර දෙපාර්තමේන්තුව වෙත ලබා දුන්, යාත්‍රා නිරීක්ෂණ පද්ධතියේ (Vessel Monitoring System - VMS) තිරසාර පැවැත්ම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ධීවර කටයුතු නිරීක්ෂණය සඳහා අතිශය වැදගත් වන මෙම පද්ධතිය ලබා දීම පිළිබඳව අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු රජයට සිය කෘතඥතාව පළ කළේය. එම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාවේ කැපවීම නැවත තහවුරු කළ මහ කොමසාරිස් ඩක්වර්ත් මහතා, එම පද්ධතියේ අඛණ්ඩ සහ තිරසාර ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා වැඩිදුර සහයෝගය ලබා දීමේ හැකියාව සොයා බලන බව ප්‍රකාශ කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව, මහ කොමසාරිස්වරයා සහ පළමු ලේකම්වරයා, ධීවර දෙපාර්තමේන්තුවේ පිහිටි යාත්‍රා නිරීක්ෂණ පද්ධති ඒකකය වෙත ගොස්, එහි මෙහෙයුම් කටයුතු පිළිබඳව සියැසින්ම නිරීක්ෂණය කළහ.

මෙම හමුව ඉතා සුහදශීලීව නිමාවට පත් වූ අතර, එය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ධීවර ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා නව මංපෙත් විවර කළේය.