චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (SCNPC) ස්ථාවර කමිටුවේ උප සභාපති වැන්ග් ඩොංමින් (Wang Dongming) මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන නියෝජිත පිරිසක් ඊයේ (17) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති බිමල් රත්නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ පරිසර ආරක්ෂණ හා සම්පත් සංරක්ෂණ කමිටුවේ සභාපති ලු සින්ෂේ, විදේශ කටයුතු කමිටුවේ උප සභාපති සහ ජාතික මහජන කොංග්‍රසයේ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගරු වැන්ග් කේ, ජාතික මහජන කොංග්‍රසයේ සමාජ සංවර්ධන කටයුතු කමිටුවේ උප සභාපති ටැන් ටියැන්සිං ඇතුළු චීන නියෝජිත පිරිසේ සාමාජිකයින් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ශක්තිමත් සබඳතාව පෙන්වා දුන්නේය. ඉහළ මට්ටමේ චීන පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සංචාරය පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි චීනය ලබාදෙන වැදගත්කම මෙන්ම දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වයේ ශක්තිය පිළිබිඹු කරන බවත් ඔහු සඳහන් කළේය. පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ ව්‍යසනයෙන් පසු තත්ත්වය පිළිබඳව කථානායකවරයා නියෝජිත පිරිස දැනුවත් කළ අතර, මෙම කාලය තුළ චීනය ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කර සිටින බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික මහජන කොංග්‍රසයේ (SCNPC) ස්ථාවර කමිටුවේ උප සභාපති වැන්ග් ඩොංමින් මහතා, ශ්‍රී ලංකාවට පැමිණීමට කළ ආරාධනයට සිය කෘතඥතාව පළ කර සිටියේය. එසේම දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනයේ කැපවීම ඒ මහතා අවධාරණය කළේය. සමීප සහ මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා චීනය සහාය වීමට සූදානම් බව ඩොංමින් මහතා ප්‍රකාශ කළේය. තවද මෑත කාලීන ආපදා තත්ත්වය හේතුවෙන් එල්ල වූ අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට චීනයේ සහයෝගය තවදුරටත් මෙහිදී තහවුරු කරන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත කාලීන චීන සංචාරය ද වැන්ග් ඩොංමින් මහතා සිහිපත් කළ අතර එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව උපායමාර්ගික මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරන බව සඳහන් කළේය. තවද, දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ආර්ථික සහයෝගීතාව, අධ්‍යාපනය, සංස්කෘතිය සහ සංචාරක යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට චීනය සූදානම් බව ඔහු සඳහන් කළේය.
ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් චීනය අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී නැවතත් අවධාරණය කළේය.