රජයේ සංවර්ධන දැක්ම තිරසාරත්වය සහ මානව ගරුත්වය මුල් කරගත්තක් බවත් සෑම ප්‍රජාවකගේම ජීවන තත්ත්වය නඟා සිටුවීම වගේම සංවර්ධනය රටේ සෑම තැනකටම ළඟා වන බව සහතික කිරීම රජයේ අරමුණ වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින හවුල්කාරිත්වයේ 70 වසර සනිටුහන් කරමින් "Our UN " යන ගෝලීය තේමාවෙන් ඊයේ (23) කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති 2025 එක්සත් ජාතීන්ගේ දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, සාමය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධනය යන පොදු මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත සිදු වන බහුපාර්ශ්වික සහයෝගීතාවය ඉතා වැදගත්.
වසර අසූවකට පෙර පැවති ලෝක යුද්ධයෙන් පසු ඉදිරි පරපුර බේරා ගැනීම, මානව හිමිකම් කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම වගේම සමාජ ප්‍රගතිය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යන අරමුණ පෙරදැරි කරගනිමින් ලෝකය පොදු අරමුණක් වෙනුවෙන් මෙහෙයවීමටයි එක්සත් ජාතින්ගේ සංවිධානය ආරම්භ වුණේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අන්තර්ගත මෙම ආරම්භක පරමාදර්ශ, වෙනදාටත් වඩා වර්තමාන ලෝකයට ඉතාමත් වැදගත් වෙනවා.
ගෝලීය සාම සාධක හමුදාව, රාජ්‍ය තාන්ත්‍රිකබව සහ තිරසාර සංවර්ධනය සඳහා දායකවෙමින් 1955 වසරේ සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සහ වගකිවයුතු සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටිනවා.
1958 දී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමකට ශ්‍රි ලංකාවේ පළමු කණ්ඩායම යෙදවීමේ සිට, ශ්‍රී ලාංකිකයින් 25,000 කට අධික සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කරමින් අභියෝගාත්මක මෙහෙයුම්වලදී සාමය සහ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරලා තියෙනවා.
බහුපාර්ශ්වික කටයුතු සඳහා වගේම වගකීම් සහගතව ගෝලීය සහයෝගීතාවයෙන් කටයුතු කරන්න ශ්‍රි ලංකාව කටයුතු කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලද තිරසාර සහ සියල්ල ඇතුළත් සංවර්ධනයේ මූලධර්මවලට අනුකූල වෙමින් ශ්‍රි ලංකාවේ ජාතික දැක්ම ඉදිරියට ගෙන යනවා. දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන, රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීම සහ රාජ්‍ය සේවාවට ඩිජිටල් තාක්ෂණය ඇතුළත් කිරීම සඳහා වන ‘ඩිජිටල් ශ්‍රී ලංකා, ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පාරිසරික, සමාජීය සහ සදාචාරාත්මක පරිවර්තනය ප්‍රවර්ධනය කරන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඇතුළු ප්‍රධාන වැඩසටහන් ගණනාවක් රජය මඟින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
නව පරිවර්තනයක් සිදු කරමින් යන ගමනේදී එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව (UNSDCF) හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා සහාය වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අනෙකුත් ආයතන ඇතුළු එක්සත් ජාතීන්ගේ නේවාසික කණ්ඩායම (UNCT) දක්වන දායකත්වය පිළිබඳව කෘතඥතාව පළ කරන්න කැමතියි.
තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟාකර ගනිමින් සියලුදෙනාට සමානව සම්පත් බෙදීයාම සහතික කිරීමයි රජයේ අරමුණ. එහිදී රාජ්‍ය පාලනය, දරිද්‍රතාවය අඩු කිරීම, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහ අර්බුධකාරී තත්වයෙන් රට යථා තත්ත්වයට පත්කිරීම වැනි ක්ෂේත්‍ර සඳහා අඛණ්ඩ ව සහයෝගය ලබා දීමට ඉදිරිපත් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි විශේෂිත ආයතන සමඟ පවතින හවුල්කාරිත්වය රජය අගය කරන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche, එක්සත් ජාතීන්ගේ නේවාසික කණ්ඩායම් සාමාජිකයින්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.