මෙවර වසන්ත කාලයේ වාර්තාගත උෂ්ණත්වයක් පවතින අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට කෘමීන් පිළිබඳ පර්යේෂකයකු වන ජෝර්න් ජොල්ටසන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතියේ රාත්‍රීන් කිහිපයකදි මදුරු විශේෂයන් හඳුනාගැනීමට හැකි වූ බවය. එම මදුරු විශේෂය ශීත කාලයේ වඳවීමකට ලක් නොවන මදුරු විශේෂයක් බවත්, වසන්ත කාලයේදී උන් එළිමහන් ප්‍රදේශවල බෝවීම සිදුවන බවත් කෘමීන් පිළිබඳ පර්යේෂකයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඇන්ටාක්ටික් කලාපය හැරුණු විට ලොව මදුරුවන්ගෙන් තොර එකම කලාපය ලෙස සැලකෙන අයිස්ලන්තයෙන් මදුරු විශේෂයක් හඳුනා ගැනීම විස්මයජනක සිදුවීමක් බව කෘමින් පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එම මදුරු විශේෂය හඳුනා ගැනීම සඳහා අයිස්ලන්තයේ පර්යේෂණ ආයතනයකට යොමු කර ඇති අතර, එම පරීක්ෂණ කටයුතු සිදු කළ මදුරු කීට සම්බන්ධ විද්‍යාඥයකු වන මැතියාස් ඇල්ෆ්රෙසන් සඳහන් කර ඇත්තේ යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ ඇතැම් කලාපවල බහුලව දක්නට ලැබෙන එම මදුරු විශේෂය අයිස්ලන්තයට ව්‍යාප්ත වූයේ කෙසේදැයි පැහැදිලි නැති බවය.