2025 ඔක්තෝබර් මස 15 වන දින සිට 20 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 5 වන, ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්රී ලංකාවේ වෙළෙඳ ප්රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසි වාරය (UNCTAD XVI) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා දූත පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙය නව රජය බලයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්රතිපත්ති සමාලෝචනය වන අතර WTO යටතේ ඇති සාමාජික රටවල වෙළෙඳ ප්රතිපත්ති රාමු පිළිබඳව සාකච්ඡා කිරීම හා ඒවායේ විනිවිදභාවය තහවුරු කිරීම මෙහිදී සිදු වේ.
ශ්රී ලංකාවේ වෙළෙඳ හා ප්රතිපත්ති ප්රගතිය පිළිබඳව WTO සාමාජිකයින් සමඟ සාකච්ඡා කරනු ලබන මෙම සමාලෝචන සැසිවල මුලසුන වෙළෙඳ අමාත්යවරයා විසින් දරනු ලැබේ.
ශ්රී ලංකාව ආර්ථික ප්රකෘතිය සහ අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන තීරණාත්මක අවස්ථාවක මෙම වත්මන් සමාලෝචනය සිදු වීම ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය, ධනාත්මක වර්ධනයන් සහ ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිපත්ති පැහැදිලි කිරීමට වැදගත් අවස්ථාවක් වේ.
මෙම සංචාරය අතරතුර අමාත්යවරයා, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ 16 වන සැසි වාරයේ (UNCTAD XVI) අමාත්ය සමුළුවට ද සහභාගී වීමට නියමිතය.
එය එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජිකයින් අතර වෙළෙඳ හා සංවර්ධන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන UNCTAD හි ඉහළම තීරණ ගැනීමේ සංසදය වේ.
මෙම අමාත්ය සමුළුව වසර හතරකට වරක් පවත්වනු ලබන අතර, සංවර්ධන අභියෝග සහ වෙළෙඳ උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ගෝලීය නායකයින් හමුවීමට ඇති ඉතා වැදගත් අවස්ථාවකි.
ඉදිරි වසර හතර සඳහා UNCTAD හි කාර්යයන් සහ වගකීම් පිළිබඳව ද අමාත්ය මණ්ඩලය මෙහිදී තීරණය කරන අතර, මෙවර සමුළුව "අනාගතය හැඩගැස්වීම: සාධාරණ, සහයෝගීත්ව තිරසාර සංවර්ධනයක් උදෙසා ආර්ථික පරිවර්තනයක්" යන තේමාව යටතේ පැවැත්වේ.
මෙම සංචාරයේදී අමාත්යවරයා ලෝක වෙළෙඳ සංවිධානයේ සහ ජාත්යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරුන්, ලෝක ආර්ථික සංසදයේ සහ ජාත්යන්තර වෙළෙඳ මධ්යස්ථානයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ ජිනීවාහි වාණිජ මණ්ඩල නියෝජිතයින් සමඟ වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.