Wednesday, April 24, 2024
Follow Us
ඉන්දියානු ළමා කැස්ස පැණියක් ගැන ලෝකයෙන් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකාවේත් පරීක්ෂණ

අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ වර්ග 04 ක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට පුලුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ ඖෂධ වෙනත් රටවලට ද බෙදා හැර ඇත්දැයි සොයා බැලීම සඳහායි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ඖෂධ වර්ග 4 හේතුවෙන් ගැම්බියාව තුළ ළමා මරණ 66 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බවයි.

ඒ අනුව ඉන්දියාවේ මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවන ඖෂධ වර්ග 4 කට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ. අදාළ ඖෂධවල “අනුමත ප්‍රමාණය ඉක්මවා” ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් නම් සංයෝග අන්තර්ගත වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර වාර්තාවෙන් ද තහවුරුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ වර්ග 4, ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවට සහතික වන බවයි.

අවදානම් බවට හඳුනාගත් ඖෂධ නිෂ්පාදන හතරම වහාම ගැම්බියාවේ වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් දැනුම් දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාව පවසා ඇත්තේ මතභේදයට තුඩු දී ඇති අදාළ ඖෂධ නිපදවා ඇත්තේ, ගැම්බියාව සඳහා පමණක් බවයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ දැනට ගැම්බියාවේ පමණක් නීත්‍යනුකූලව අලෙවි කර ඇති එම ඖෂධ, අවිධිමත් වෙළෙඳපොළ හරහා වෙනත් රටවල බෙදා හැර තිබිය හැකි බවයි. අධි මාත්‍රික එම සංයෝග මගින් මිනිස් වකුගඩුවලට හානි සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා.

මෙලෙස ලොව පුරා දැඩි අවදානයක් යොමුව ඇත්තේ ඉන්දීය සමාගමක් නිපදවූ කැස්සට සහ සෙම්ප්‍රතිශ්‍යවට ලබාදෙන දියර ඖෂධ 04 ක්. මේ සමඟම ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛ රටක් වන ඉන්දියාවට මෙම අනාවරණයත් සමඟ එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

Neth