Tuesday, October 13, 2026
Follow Us
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට පහසුකම් ලබාදීම යළි ඇරඹේ

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, වැඩහල් සහ ආපනශාලාවක් ඉදි කිරීම යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් 600 දෙනෙකුහට නේවාසික පහසුකම් සහිත ශිෂ්‍ය නේවාසිකාගාරයක්, නවීන ඉගැන්වීම් වැඩහල් සහ ආසන 300කින් සමන්විත ආපනශාලාවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-01-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එහෙත්, සැලසුම් හා ප්‍රසම්පාදන කටයුතුවල සිදු වූ වෙනස්කම්, ආර්ථික අර්බුදය සහ වෙනත් විවිධ කරුණු හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති අතර, රජයේ ප්‍රාග්ධන වියදම් සීමා කිරීමේ ප්‍රතිපත්තියට අනුගතව 2022 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම්, වැඩහල් සහ ආපනශාලා පහසුකම් ප්‍රමාණවත් නොවීම මත සිසුන්ගේ සුබසාධනය හා අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇත.

එබැවින්, රුපියල් මිලියන 3,380ක සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ එකී ව්‍යාපෘතිය 2027‑2029 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.