දීර්ඝ කාලයක් පුරා ඇණහිට පැවති කන්දකැටිය, බදුලු ඔය අමුණ උසස් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් භෞතික ප්‍රගතිය 80%ක් දක්වා ළඟා වී ඇති අතර, එහි ක්ෂේත්‍ර නිරීක්ෂණයකට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා එක් විය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ (කන්දකැටිය කොට්ඨාසය ) යටතේ රුපියල් මිලියන 230ක පමණ මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අමුණ සහ ප්‍රවේශ මාර්ගය මීටර් 2.1කින් ඉහළට එසවීම සිදු කෙරේ.
එමගින් බදුලු ඔය ආශ්‍රිත ජල ධාරිතාව අක්කර අඩි 45කින් ඉහළ නැංවීමට නියමිත අතර, මීට පෙර යල කන්නයේදී ජල හිඟයකට මුහුණ දුන් ගොවීන්ට ඉදිරියේදී කන්න තුනක් අඛණ්ඩව වී ඇතුළු වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.
2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරුණු ඉදිකිරීම් කටයුතු අතරමගදී පැමිණි අයහපත් කාලගුණික ආපදා හමුවේ යම් ප්‍රමාදයකට ලක් වුවද, පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රවේශ මාර්ගය යළි සකස් කරමින් වැඩකටයුතු වේගවත් කෙරිණි.
ඒ අනුව මාස හයක කෙටි කාලයක් තුළ අමුණේ පිටවාන (weir), පැති බැමි සහ සොරොව් ආශ්‍රිත ප්‍රධාන ඉදිකිරීම් අවසන් අදියරට ගෙන ඒමට හැකි වී ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය 2026 දෙසැම්බර් මස අවසන් වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇත.