Sunday, September 27, 2026
Follow Us
නුවරඑළිය ඇල්ජින් වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කරයි
ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කරමින්, වනාන්තර ආවරණය වැඩි කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් අපගේ ස්වභාවික සම්පත් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇල්ජින් වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීම පසුගියදා (26) සිදු කෙරිණි.
 
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ අවස්ථාව සිදු විය.
මෙයට සමගාමිව රට පුරා වනාන්තර 20 ක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීමද සිදු විය.
නුවරඑළිය අඩවියේ තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇල්ජින් වනාන්තරය හෙක්ටයාර් 1,419.45ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, එහි වැඩි ප්‍රමාණයක් කඳුකර වනාන්තරවලින් සමන්විත වේ. ඉතිරි ප්‍රදේශය යුකැලිප්ටස් විශේෂවලින් සමන්විත වන වගාවන් වේ.
මුහුදු මට්ටමේ සිට අඩි 5,000කට වැඩි උන්නතාංශයක පිහිටා ඇති මෙම වනාන්තරය, ශ්‍රී ලංකාවේ කඳුකර පරිසර පද්ධතියට සුවිශේෂී වැදගත්කමක් දරයි. කඳුකර දිවියා, ගෝනා ඇතුළු සත්ව විශේෂ රැසකට මෙන්ම විවිධ ශාක විශේෂ සඳහාද මෙය වැදගත් වාසස්ථානයකි.
එමෙන්ම ඇල්ජින් වනාන්තරය සුවිශේෂී පාරිසරික සංචාරක විභවයක් සහිත ප්‍රදේශයක් වන බැවින්, සංරක්ෂණය සහ තිරසර භාවිතය අතර සමබරතාවයක් ඇති කරමින් එහි වටිනාකම අනාගතයට රැගෙන යාමට ද මෙය වැදගත් පියවරකි.
අඩි 5,000කට වැඩි උන්නතාංශයක පිහිටි වනාන්තර ඇතුළු අපගේ වටිනා වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ඒවා නීත්‍යානුකූලව රක්ෂිත ලෙස ගැසට් කරමින් ආරක්ෂාව ශක්තිමත් කිරීමත්, රටේ වනාන්තර ආවරණය ක්‍රමයෙන් වැඩි කිරීමත් රජයේ ප්‍රමුඛ අරමුණකි.
ඇල්ජින් වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීම, ශ්‍රී ලංකාවේ වනාන්තර සම්පත තවදුරටත් ශක්තිමත්ව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරකි.