දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කරන ලද අනුකමිටුව 05වන වරටත් එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ආමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සහ එහිදී පවතින ගැටලුවලට විසඳුම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතික යටිතල පහසුකම් සහ පොදු පහසුකම් ඇතුළු විවිධ සමාජ යටිතල පහසුකම් පශ්චාත් ආපදා කාලසීමාව තුළ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ ප්‍රධාන කමිටුව වෙත වාර්තා කිරීම මෙම අනුකමිටුව සතුව පවතින බවත්, එනිසා පවතින ගැටලු කඩිනමින් විසඳා ගනිමින්, අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිපත්තිමය තීරණ ලබා ගැනිම සදහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම මෙම අනුකමිටුවේ වගකීම බවත් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පෙන්වා දුන්නේය.
ආපදාවෙන් දැඩි බලපෑමක් එල්ල වූ පළාත් කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු කෙරුණු අතර, එම පළාත්වල යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරිමේ ප්‍රගතිය පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින්ද, පොදු පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉදිරිපත් කරන ලදී.
අනුකමිටුවේ ලේකම් සහ ජනාධිපති අතිරේක ලේකම් ජේ. ආර්. සී. ජයතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන්, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලක්ෂිකා සේනාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.