මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සවිබලගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද මාතෘ සහ ළදරු සෞඛ්‍ය නිපුණතා සංවර්ධන වැඩමුළුවේ (Capacity Building Workshop on Maternal and Newborn Healthcare) පළමු වැඩමුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර ගල්ලස්ස ළමා හා මාතෘ රෝහලේ දී පසුගිය දා ආරම්භ විය.
වෛද්‍ය නිලධාරීන්, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙනුවෙන් පවත්වනු ලබන මෙම නිපුණතා සංවර්ධන වැඩමුළුව ශ්‍රී ලංකා පරිජන්ම සංගමය “Perinatal Society of Sri Lanka” කළුතර ළමා හා මාතෘ රෝහල, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි.
මෙම වැඩමුළුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇති වැඩමුළුවක් වන අතර, මෙමගින් මව්වරුන්ට සහ අලුත උපන් බිළිඳුන්ට ප්රශස්ත සත්කාර ලබදීම ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම මෙන් ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම, විශේෂඥතාව සහ කුසලතා ප්‍රවර්ධනය කරමින් එම සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ වේ.
මෙම වැඩමුළුවේ දී මාතෘ මරණ අවම කිරීම සඳහා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ කාර්යභාරය, අළුත උපන් බිළිදුන් තුළ අනතුරුදායක සංඥා, ප්‍රසව කාලයට පෙර මාතෘ අවදානම් සංඥා සහ කළමණාකරණය, මාතෘ රැකවරණය ඇතුළු ක්ෂේත්රයට අදාළ මාතෘකා රැසක් මූලික කර ගනිමින් වෛද්‍ය නිලධාරින්, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා දේශන සහ පුහුණු වැඩසටහන පැවැත්විණි.
ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්රයේ ශක්තිමත් ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත්, සේවා ධාරිතා ඉහළ නැංවීමේ අරමුණින් පවත්වනු ලබන මෙවැනි වැඩමුළු සහ පුහුණු වැඩසටහන් අපගේ සෞඛ්‍ය සේවා පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවැසී ය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ධාරිතා ඉහළ නංවමින් වෘත්තිකයින්ට දැනුම සමීප කරවීම තුළ ඉහත සේවාවන්හි සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවෙන බව ද ප්‍රධාන රෝහල් සහ පර්යන්ත ආයතන අතර, පරතරය අඩු කිරිමටත්, ගුණාත්මක සත්කාර සෑම මවකට ම මෙන් ම සෑම දරුවෙකුට ම ළඟාවන බව සහතික කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා අපගේ වගකීම වන්නේ වළක්වාගත හැකි සෑම සංකූලතාවයක් ම වළක්වා ගැනීම බව ද අවධාරණය කරන ලදි.
මෙම වැඩමුළුවෙන් ලබාගන්නා දැනුම සහ කුසලතාව තුළින් සපයනු ලබන සත්කාර සේවා වැඩිදියුණු කළ යුතු බවත්, රෝහල් කාර්ය මණ්ඩලය විසින් ජනතාවට ලබාදෙන සේවාවෙන් ජනතාව විසින් ඇගයීමට ලක්කිරීම සහ ජනතා විශ්වාසය දිනා ගැනීම ඉතා වැදගත් බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන ලදි.
රෝහල් කාර්ය මණ්ඩල පුරප්පාඩු සපුරාලීමේ සැලසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද බඳවා ගැනීම් කටයුතු කඩිනම් කිරීම තුළ ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවන් වඩාත් ශක්තිමත් වනු ඇති බව ද පැවසීය.
මෙම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නවීන් ද සොයිසා, කළුතර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මධුභාෂිණි කරුණාරත්න, ශ්‍රී ලංකා පරිජන්ම සංගමයේ සභාපතිනී මහාචාර්ය රුවන්ති පෙරේරා, ප්‍රසව හා නාරිවේද විශේෂඥ උපදේශක සහ වැඩසටහන් සම්බන්ධීකාරක වෛද්‍ය ශාරදා ජයලත් යන මහත්ම මහත්මීන් මෙන් ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.