විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් අද ගොඩනඟා තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ දකුණු පළාත් වැඩසටහනට තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදි අද (20) පස්වරුවේ එක් වෙමිනි.
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සම්බන්ධ වූ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇගයීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,
අද අපි මෙහි රැස්ව සිටින්නේ ජාතියක් ලෙස මේ මොහොතේ අපි මුහුණ දී සිටින විනාශකාරීම ව්‍යසනයෙන් අපේ ජාතිය මුදා ගැනීමේ තිර අදිටනින් යුතුවයි. මත්ද්‍රව්‍ය හා බැදුණු අපරාධ, දූෂණ, සමග රටකට ඉදිරියට යන්න බැහැ. මත්ද්‍රව්‍ය, අපරාධ ඒ හා බැදුණු කලු ආර්ථිකය අපේ රටට කිසිසේත්ම සංවර්ධනය, සාමය, සෞභාග්‍යය ගෙනත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යසනයෙන් අපේ ජාතිය ගලවා ගැනීමේ වගකීම ජනතාව අපිට පවරා තිබෙනවා.
අපි දන්නවා මේ ව්‍යසනය මොනතරම් ගම්, නගර පවුල් සංස්ථා ආක්‍රමණය කර තිබෙනවද කියලා. විශාල බලාපොරොත්තු සහිතව තම තුරුළේ වැඩුණු දරුවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයේ මහා ගොදුරක් බවට පත් වී තිබෙනවා. විශාල බලාපොරොත්තු සහ අපේක්ෂා සහිතව හදා වඩා ගත් දරුවා සමාජයට ව්‍යසනයක් ගෙන එන, සමාජ විරෝධී ක්‍රියාකාරිකයෙක් බවට පත් වී තිබෙනවා. තමන්ගේ ඇකයේ නැළවුණු සහ දෙතනේ කිරි පෙවු දරුවට එවැනි ඉරණමක් අත්වෙයි කියා කිසිදු අම්මෙක්, තාත්තෙක් බලාපොරොත්තු වුණේ නැහැ.
හැබැයි ලක්ෂ ගණන් දරුවෝ මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්ව තිබෙනවා. එම දරුවාගේ ජීවිතය පමණක් නොවෙයි මුළු පවුල් සංස්ථාවම බිඳ වට්ටවා තිබෙනවා. මේ ව්‍යසනය ගම් බියට පත් කර තිබෙනවා. ගම්වල තරුණ වියේ දරුවෙක් සිටිනවා නම් දෙමාපියන් තමන්ගේ දරුවාට නිදහසේ කටයුතු කිරීමට ඉඩ නොදෙන තරමට බියට පත්වී සිටිනවා. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් අපි මේ ව්‍යසනය පරාජයට පත් කළ යුතුයි.
අනෙක් පසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවට පත් වෙනවා. අවසානයේ වංචාවේ, දූෂණයේ යෙදීමට පටන් ගන්නවා. තව පසෙකින් මේ මත්ද්‍රව්‍ය ජාලයේම ගොදුරක් බවට පත් වී කුලියට මිනී මරන්න පටන් ගන්නවා. අපරාධවලට අදාළව අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපේ රටේ අනාගතය මුළුමනින්ම ගිලගෙන තිබෙනවා. එපමණක් නොවෙයි මත්ද්‍රව්‍ය හරහා විශාල මුදල් කන්දරාවක් සැරිසරනවා. සාමාන්‍යයෙන් අපේ රටේ කිසිදු ව්‍යාපාරයකින් වසර සිය ගණනකින් උපයාගත නොහැකි ධනයක් එක බෝට්ටුවකින් හොයනවා. එම ධනය විවිධ කලු ව්‍යාපාර වෙනුවෙන් යොදවනවා. අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල පිරිස් මිලදී ගැනීමට එම ධනය සමත් වෙනවා. ඇතැම් විට බියට පත් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් සිරගත වී සිටින අපරාධකරුවාට පහසුකම් සපයනවා. එහෙම ලබා දෙන්නේ නැත්නම් බන්ධනාගාර නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තර්ජන එල්ල කර තිබෙනවා. එසේ නම් රාජ්‍ය යාන්ත්‍රණයෙන් පරිබාහිරව, රාජ්‍ය යාන්ත්‍රණය බියට පත් කරමින් තමන්ගේ කාර්යයන් කර ගැනීමේ තත්ත්වයට මෙය වර්ධනය වී තිබෙනවා. සියලු ආයතන බිද වට්ටවා තමන් සතුව තිබෙන ධනයෙන් නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් ගොඩනගා තිබෙනවා. දැන් එය මේ මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ වී තිබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට සහ සමාජ පැවැත්මට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.
අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. මෙතෙක් ගමන් කරමින් සිටි පැරණි මාවත අපිට තෝරා ගනිමින් මේ තත්ත්වය වර්ධනය වීමට ඉඩ හැරිය හැකියි. මට ජනාධිපතිවරයා ලෙස, ධුරයෙන් විශ්‍රාම යන තෙක් ඔහේ සිදු වෙද්දෙන් කියා බලා සිටිය හැකියි. නිලධාරින්ට ඉවත බලා සිටිය හැකියි. එය තමයි පරණ පුරුදු මාවත. එසේ නම් අප තීරණය කළ යුතුයි දේශපාලන අධිකාරිය ලෙස මට පැවරී ඇති වගකීම සහ මේ රටේ ජනතාව කෙරෙහි ඇති වගවීමත්, නිලධාරින් ලෙස ඔබට පැවරී ඇති රාජකාරිය සහ මහජනතාව කෙරෙහි ඇති බැදීම ඉටු කිරීම සඳහා අපි සටන් කරනවද? නැද්ද? කියලා. මේ මාතෘභූමිය සහ ජනතාව පිළිබඳ අපේ අකලංක බැදීම හමුවේ අපි තෝරගත යුතු වන්නේ මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේ මාවතයි. තවදුරටත් අපේ දරුවන් මේ ව්‍යසනයේ මහා ගොදුරු බවට පත්වීමට ඉඩ නොදීම මගේ වගකීමක්. ඒ වගේම අප සියලුදෙනාගේ වගකීම එයයි. මේ ව්‍යසනයට අපේ මාතෘභූමිය, ජාතිය සහ අපේ දරුවන් ගොදුරුවීම වැළැක්වීම අපේ ඒකායන අරමුණ සහ විශ්වාසය බවට පත්වී තිබෙනවා. එහි ආරම්භක පියවර අපි තබා තිබෙනවා.
අපි දන්නවා මේ සන්නද්ධ අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය හා බැදුණු පාතාල නායකයන් ගොඩනැගුණේ දේශපාලන නායකයන්ගේ රැකවරණය යටතේයි. ඔවුන්ට බලය දුන්නේ දේශපාලන නායකයින්. දේශපාලකයා සතුව තිබෙන බලය සුරියවැවේ කෙනෙකුට ආමන්ත්‍රණය කරනවා, ජූලම්පිටියේ තරුණයෙකුට ආමන්ත්‍රණය කරනවා. හැම තැනකම මේ සන්නද්ධ අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු අපරාධකරුවන් මෙලෙස ප්‍රබල ලෙස වර්ධනය වුණේ දේශපාලන ආශිර්වාදය සහ රැකවරණය සහිතවයි. එය සියලුදෙනා දන්නා සත්‍යයක්. කාලයක් පාතාල නායකයන් දේශපාලන පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කළා. ඒ වගේම ජනාධිපති ආරක්ෂක අංශවල කටයුතු කළා. ඒ වගේම කුමාරවරුන්ගේ ආරක්ෂාවට සිටියා. එයයි සත්‍යය.
නමුත් කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් දැන් පිහිටුවා තිබෙනවා. අපිට මහජනතාව විසින් වරමක් ලබා දී තිබෙනවා. එම වරම සමග මහජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. නායකයන් ලෙස අපේ වගකීම වන්නේ එම ජනතා අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කිරීමයි. ඒ නිසා තමයි අපි මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව ඉවත් වෙනු කියන මහා ජාතික ව්‍යාපාරය ගොඩනැගුවේ.
වෙන වෙන අය, වෙන වෙන කලබල කරලා අපේ න්‍යාය පත්‍රය අවුල් කරන්න උත්සාහ කරනවා. ඇත්ත ප්‍රශ්න යට ගහලා ඔවුන් විසින් නිර්මාණය කර ගත් කෘත්‍රීම ප්‍රශ්න සමාජයට ගෙන ඒමට උත්සාහ කරනවා. රාජ්‍යයක් ඒ හා බැදුණු නිලධාරී යාන්ත්‍රණය, මහජනතාව, ආගමික නායකයන් අපි සියලුදෙනා ඉලක්ක සහගතව මෙහෙයුමකට යන විට වෙන වෙන දිශාවට සමාජයේ ඇස් යොමු කිරීමට උත්සාහ කරනවා. අපි ඒ බොරු වළවල්වල වැටෙන්නේ නැහැ. අපි ස්ථිර අදිටනින් යුතුව මෙම මෙහෙයුම දියත් කර අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ජාතිය ගලවා ගන්නවා.
අපේ නිලධාරින් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් මේ කාර්යය සඳහා විශාල වෙහෙසක් දරනවා. මම ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඔබගේ නිල ඇදුමේ සහ තනතුරේ ගෞරවය අපරාධකරුවන් ඉදිරියේ දියවීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඔබ ගන්න තීරණ ක්‍රියාත්මක කරනවා මෙන්ම ඕනෑම අසීරු අවස්ථාවකදී අපි ඔබව ආරක්ෂා කරනවා. ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඔබ වැඩ කරන්න. ඔබ ඉතාමත් දුෂ්කරතාවලට මුහුණ දෙන බව මම දන්නවා. හැබැයි ඒ කාර්යය ඔබ නිර්භීතව ඉටු කරයි කියා අපි විශ්වාස කරනවා.
අපේ නාවික හමුදාව රට පුරා මුහුදු සීමාව ආරක්ෂා කර ගනිමින් මේ මෙහෙයුමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අපේ බුද්ධි අංශ තොරතුරු සපයනවා. යුද හමුදාව, ගුවන් හමුදාව ඒ මෙහෙයුම්වලට අවශ්‍ය දායකත්වය සපයනවා. ඒ නිසා මේ ව්‍යසනය පරාජයට පත් කිරීම සඳහා දේශපාලන අධිෂ්ඨානය, ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය, නිලධාරින් නිසි පරිදි මෙහෙයවීම සිදුවෙනවා කියා මම විශ්වාස කරනවා.
ඒ වගේම මේ මත්ද්‍රව්‍ය අළෙවිකරණ අය සහ ඊට ඇබ්බැහිවූවන් ගමේ එකවර විශාල ලෙස ධනය එක් රැස් කරගත් කෙනා පිළිබඳව මහජනතාව දන්නවා. හැබැයි ගමේ ජනතාව තොරතුරු ලබා දීමට බියෙන් සිටිනවා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මහජන ආරක්ෂක කමිටු පත් කරනවා. මේවා ගමේ ශක්තිමත්ව කමිටු බවට පත් විය යුතුයි. දුෂිතයන්, මත්ද්‍රව්‍ය අලෙවිකරනන් හා ඒ හා බැදුණු අපරාධ ජාලයට එරෙහිව ගමේ අය නැගිටිය යුතුයි. මේක මහා ප්‍රබල මහජන ව්‍යාපාරයක් බවට පත් කර මේ ව්‍යසනයට දායකත්වය සපයන ලෙස මම ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍යවලින් තොර පවුලක්, මත්ද්‍රව්‍යවලින් තොර ගමක්, මත්ද්‍රව්‍යවලින් තොර නරගයක් සහ මත්ද්‍රව්‍යවලින් තොර රටක් අපිනිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ දායකත්ව ඉතා වැදගත් වෙනවා.
මෙහිදී අපේ ස්වාමීන්වහන්සේලා, පියතුමන්ලාට, මවුලවිතුමන්ලාට සහ කුරුක්කල්තුමන්ලාට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ආගමික ස්ථාන සහ ගම අතර තිබෙන බැදීම මෙම ව්‍යසනය පරාජය කිරීමට අපිට උපයෝගී කරගත හැකියි. ඒ වගේම මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටිනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් අපි මෙවර අයවැය ලේඛනයෙන් විශාල මුදලක් වෙන් කළා. අපි පුනරුත්ථාපනය ක්‍රියාවලිය ශක්තිමත් කරමින් ඊට ඇබ්බැහිවූවන් එයින් ගලවාගත යුතුයි. ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූයේ ඔවුන්ගේ වරදින් නොවෙයි. එය ඔවුන් එවැනි ව්‍යසනයකට ගොදුරු නොවන සමාජයක් ගොඩනැගීමට අපි අසමත් විමේ ප්‍රතිඵලයක්. ඒ නිසා දෙමාපියන්ට අහිමි වූ තම දරුවන් අපි නැවත ලබා දිය යුතුයි.
ඒ නිසා අපි සෑම දිස්ත්‍රික්කයක්ම කේන්ද්‍රකරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා. එක් පසෙකින් මේ ජාලය බිද දමනවා වගේම අනෙක් පසින් පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒ නිසා මේ ව්‍යායාමය තමයි අපිට මේ අවස්ථාවේ තිබෙන ජාතිකම කර්තව්‍යය. ඒ නිසා අපි රජයක් ලෙස විශාල මැදිහත්වීමක් සහ කාර්යයක් සිදු කරමින් මේ ව්‍යසනය මුලිනුපුටා දමනවා.
දශක හතරකට වැඩි කාලයක් දේශපාලන රැකවරණ සහිතව, විවිධ නිලධාරීන්ගේ අනුග්‍රහය සහිතව, තාක්ෂණයේ වර්ධනය විසින් මේ රාජ්‍ය ගොදුරුක් බවට පත්ව තිබෙනවා. අද මේ ව්‍යසනයට ගොදුරු නොවුණු ගමක් නගරයක් නැති තරමටම මේ ව්‍යසනය පැතිරී තිබෙනවා. තව අවසානයට තිබෙන්නේ ගොදුරු නොවුණු පවුලක් දක්වා මේ ව්‍යසනය වර්ධනය වීම පමණයි. ඊට පෙර මේ ව්‍යසනය අවසන් කළ යුතුයි. පොලිසිය හා ඒකාබද්ධව ත්‍රිවිධ හමුදාව විශාල මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
ඉස්සර මත්ද්‍රව්‍ය ආවේ කොහොමද? ඉස්සර මත්ද්‍රව්‍ය ආවේ ගුවන් තොටුපළෙන්. දැන් කන්ටේනර්වලින්, බෝට්ටුවලින්. මේ මත්ද්‍රව්‍ය වර්ධනය වුණේ කොතැනටද? ඉතිහාසයේ ගුවන් තොටුපළෙන් ආවත් අද බෝට්ටු පුරවලා, කන්ටේනර් පුරවලා සහ කුඩු නිෂ්පාදනාගාර දක්වා වර්ධනය වීමේ තත්ත්වයක් තිබෙනවා. එනිසා මේ ව්‍යසනය නතර කිරීමට වසර කිහිපයක් අත්නොරින මෙහෙයුමක් අවශ්‍යයි. අපි දන්නවා, මේවා නිකම් රැලි හැටියට එනවා, බෝට්ටුවක් අල්ලනවා, ප්‍රවෘත්තියක් දානවා, ආයේ ගිහිල්ලා නිදා ගන්නවා. ආයේ කවදා හරි කාලෙක බෝට්ටුවක් අල්ල ගන්නවා. මේක එහෙම නෙමෙයි.
අපි මේ මෙහෙයුම මේ ව්‍යසනය පරාජයට පත් කරන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. අපි විදෙස් රටවල්වලින් සහාය ඉල්ලා තිබෙනවා, විදෙස් රටවල විශාල පිරිසක් සැඟව සිටිනවා, ඉන් සැලකිය යුතු කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන මෙරටට ගෙනැවිත් තිබෙනවා. තව කණ්ඩායමක් විදෙස් රටවල්වල අත්අඩංගුවේ ඉන්නවා. විදෙස් රටවල සැඟව සිටින කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ ජාලයේ මුදුන බිඳින්න ඕන. මේ රට තුළ තිබෙන මූලික බෙදාහැරීමේ දෙවැනි ලේයරය බිඳියයුතුයි. අවසානයේ ගම දක්වා ග්‍රෑම් ගණනේ බෙදන අය සිටිනවා. ඒ දක්වාම මෙය මුලිනුපුටා දමන්න ඕන. මතක තබා ගන්න, මුළුමණින්ම සුද්දයක්.
සමහර අය වෙන වේෂයන්ගෙන් මේක යටගහලා සමාජය වෙන දිශාවකට කැඳවන්න උත්සාහ කරයි. මේවා ලෝකයේ වෙලා තිබෙනවා. හයිටියේ ජනාධිපතිවරයා ඝාතනය කළා, මෙක්සිකෝවේ ජනාධිපති අපේක්ෂකයාව ඝාතනය කළා. සමහර රටවල්වල අත්අඩංගුවට ගත්තාම ඒ නායකයන් නිදහස් කර ගැනීම සඳහා මහජන උද්ඝෝෂණ පවා සූදානම් කර තිබුණා. ඇයි? කුඩු ව්‍යාපාරිකයන් නිදහස් කර ගැනීමට ධනය තිබෙනවා. මොවුන්ගේ පැවැත්ම වෙනුවෙන් විවිධාකාරයෙන් සල්ලි වීසි කරනවා. විශාල ධනයක් ඔවුන් ළඟ තිබෙනවා. ජාවාරම්කරුවන් මිලක් නියම කරන්නේ, මේ මෙහෙයුම අඩාල කරන්නේ, මේ මෙහෙයුමේ නිරතව සිටින නිලධාරියාවම ඉලක්ක කරගෙනම නෙමෙයි. මේ මෙහෙයුමේ දිශානතිය වෙනස් කරන්න, මහජන උද්ඝෝෂණ ඇති කරවන්න, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කරන්න, නැති ප්‍රශ්න ඇති කරන්න, අපේ මේ ජාතික ක්‍රියාන්විතය නතර කරන්න ඒ පැත්තෙන් මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්.
අපි ගේන එක වළක්වනවා, ඒ අය හැංගිලා ගේනවා. අපි ගේන එක වළක්වන්න උත්සාහ කරනවා, වළක්වන කෙනාට තර්ජනයක් එනවා. ඒක තමයි සෘජුවම එන කඩාකප්පල්කාරී ක්‍රියාව. පොලිසිය හා හමුදාව මේ මෙහෙයුමට සෘජුවම මැදිහත් වෙනවා, ඔවුන් සැඟවිලා එනවා. ඔවුන් ඒ නිලධාරීන්ගේ පවුල් සහ ඥාතීන් ඉලක්ක කරගෙන එනවා. ඒක තමයි අපට පේන හස්තය. හැබැයි, නොපෙනන හස්තය මොකක්ද? රජයේ මේ අරමුණ දිය කරන්න, බොඳ කරන්න, වෙන දිශාවකට යොමු කරන්න මුදල් යෙවීම හරහා කුමන්ත්‍රණ ඇති කරන්න පුළුවන්. එනිසා අපි දන්නවා, මේ ව්‍යසනයට එරෙහි සටන සෘජු අපරාධකරුවා සහ අපරාධයට එරෙහි වන්නා අතර සටනක් විතරක් නෙමෙයි.
ඒ හා බැඳුණු තවත් යාන්ත්‍රණයන්, මෙවලම් තිබෙනවා. එනිසා අපේ සටනට එරෙහිව නැඟිටින විනාශකාරී දේශපාලන පෙරමුණ දේශපාලනයෙන්ම පරාද කරන්නම්. අපේ ඒ දේශපාලන වැඩේට නිලධාරීන් කවුරුත් මැදිහත් වන්න අවශ්‍ය නැහැ. මේ ව්‍යසනයට එරෙහිව අපි ගොඩනඟා තිබෙන දේශපාලන ව්‍යාපාරයට එරෙහිව ගොඩනැඟෙන දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන්ම නතර කරනවා. ඒ දේශපාලන පෙරමුණට කිසිදු රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක් උපයෝගී කර ගන්නේ නැහැ. ඉතාමත්ව ශක්තිමත්ව අපි මේ වැඩේ කරමු. ලෑස්තිද නැද්ද? කරනවද? නැද්ද? සම්මාන ගත් නිලධාරීන් පවා කිව්වේ මේ වැඩේ කරන්න පුළුවන් බවයි.
පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ පුහුණුව ලත්, සුදුසුකම්ලත් වෘත්තීමය යාන්ත්‍රණයක් අපට තිබෙනවා. එනිසා, මම හිතනවා අපේ මේ වෘත්තීමය පොලිසියත්, වෘත්තීයමය හමුදාවත්, අපේ රාජ්‍ය යාන්ත්‍රණයත්, මහා සංඝරත්නයත්, ආගමික පූජකතුමන්ලාත්, පුරවැසියනුත් ඇතුළු සියල්ලක්ම එක්ව මැදිහත් වුණොත් මේ ව්‍යසනය පරාජයට පත් කළ හැකියි. අපි ගත් මේ තීරණය අත්හරින්නේ නැති තීරණයක් බව කිව යුතුයි. අපි පළමු දවසට වඩා දෙවැනි දවස වේගවත් කරනවා. දෙවැනි දවසට වඩා තෙවැනි දවස තවත් වේගවත් කරනවා. මේ ව්‍යසනය නතර කරන තෙක් අඛණ්ඩව මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න දේශපාලන අධිකාරිය වශයෙන් ඒ සඳහා අවශ්‍ය නායකයත්වය අපි ලබා දෙන්නම්. ජාතියක් වශයෙන් අප පත්ව තිබෙන මේ ව්‍යසනයෙන් මුදවා ගැනීමට සියලුම දෙනා එක්ව කටයුතු කරමු.