හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය පොලොන්නරුව සහ මොණරාගල ආදී දිස්ත්රික්කවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වී බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදු වී ඇති බව එම රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි.
ඒ අනුව සිදුවූ වගා හානි පිළිබඳ ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් කඩිනමින් ක්ෂේත්රයට ගොස් වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි වූ වගා බිම් ප්රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රු. මිලියන 3000 ක පමණ ප්රමාණයක් රජය විසින් වෙන්කර ඇත.
දැනට එල්නිනෝ තත්ත්වය යටතේ විපතට පත් ගොවීන් 2712 දෙනෙකුගේ හානියට පත් වගා බිම් අක්කර 3110ක් සඳහා රූපියල් මිලියන 71 ක් ගෙවා නිමකර ඇත.
මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ළූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග 06 සඳහා හෙක්ටයාර් 01ක් සඳහා රු. 100,000/- ක මුදලක් ලෙස උපරිම අක්කර 05ක් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුකරනු ලබයි.
මෙලෙස හානියට පත් වගාවන් සඳහා ඊළඟ කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන්ට සහන සැලසීම රජයේ අරමුණ වේ. ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත අමාත්යවරයා විසින්, මෙම තත්ත්වය යටතේ හානියට පත් වගාවන්ට කඩිනමින් වන්දි ගෙවන ලෙස උපදෙස් ලබා දී ඇති බවද එම රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.