Tuesday, September 15, 2026
Follow Us
රටවල් හතරක සමුද්‍රීය ආරක්ෂක නියෝජිතයින් කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේ අත්දැකීම් හුවමාරුව

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් සංවිධානය කරනු ලබන “Maritime Domain Awareness as Digital Evidence” කලාපීය වැඩමුළුවට සහභාගිවන නියෝජිතයින් පිරිසක් පසුගියදා (13) නාවික හමුදා මූලස්ථානයට අනුබද්ධ කොළඹ පිහිටි තොරතුරු විලයන මධ්‍යස්ථානයේ (Information Fusion Centre Colombo) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල නාවික හමුදා, වෙරළාරක්ෂක බලකා සහ තොරතුරු විලයන මධ්‍යස්ථානවල සමුද්‍රීය ආරක්ෂාවට අදාළ රාජකාරි සිදුකරන නියෝජිතයින් 29 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම සංචාරයට එක්වූහ.

මෙම සංචාරයේදී කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ලබන සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය, ඒකාබද්ධ කිරීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව නියෝජිතයින් දැනුවත් කෙරිණි. එමෙන්ම, සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ විමර්ශන කටයුතු සඳහා සමුද්‍රීය වපසරියට අදාළ දත්ත නියමිත ක්‍රමවේදයකට අනුව එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ අනාගතයේදී ඩිජිටල් සාක්ෂි ලෙස භාවිත කිරීම සඳහා සංරක්ෂණය කිරීම පිළිබඳවද කරුණු පැහැදිලි කෙරිණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක Sigi Song මහත්මිය සහ Bay of Bengal Programme – Inter-Governmental Organisation (BOBP-IGO) සංවිධානයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන විශ්‍රාමික වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් මහතා ද සහභාගි වූහ.