ලෝක ඕසෝන දිනය අදට යෙදී තිබෙනවා. මෙවර සැමරුමේ තේමාව වන්නේ "සිසිල් ග්රහලෝකයක් සඳහා ගෝලීය ක්රියාකාරීත්වය" යන්නයි.
හයිඩ්රෝෆ්ලෝරෝකාබන් හෙවත් HFC වායු භාවිතය අවම කිරීම සඳහා වන කිගාලි සංශෝධනයට වසර 10 ක් පිරීමද මෙවර සැමරුමේදී විශේෂ ඇගයීමට ලක් කෙරේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් සඳහන් කරන්නේ, කිගාලි සංශෝධනය පූර්ණ ලෙස ක්රියාත්මක කිරීම අත්යවශ්ය බවයි. එමගින් සියවස අවසාන වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5 කින් පහළ දැමීමට හැකිවන බවද ඔහු පෙන්වා දෙයි. බලශක්ති කාර්යක්ෂම සිසිලන ක්රමවේද ඔස්සේ මිනිස් ජීවිත මෙන්ම පරිසරයද සුරක්ෂිත වන බව මහලේකම්වරයා කියා සිටි.
1985 දී වියානා සම්මුතිය සහ 1987 දී මොන්ට්රියල් සම්මුතිය ඔස්සේ ආරම්භ කෙරුණු මෙම වැඩපිළිවෙළ මගින් ඕසෝන් වියන විනාශ කරන ද්රව්ය සියයට 99 කින් අවම කිරීමට හැකිවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. මෙම පියවර හේතුවෙන් 21 වැනි සියවසේ මැද භාගය වන විට ඕසෝන් ස්ථරය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි අනුමාන කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
මොන්ට්රියල් සම්මුතිය සාර්ථකව ක්රියාත්මක කිරීම නිසා වසරකට සමේ පිළිකා රෝගීන් මිලියන 2 කින් පමණ අඩුවී ඇති බවද වාර්තා වනවා. එසේම, ඇසේ සුද හටගැනීමේ රෝගී තත්වයන් සහ භෝග විනාශ වීම් අවම කිරීමටද මෙමගින් හැකිවී තිබේ.