Saturday, October 18, 2025
Follow Us
ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් දෙමින් 'Aqua Planet 2025' ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ අරමුණින්, "Aqua Planet Sri Lanka 2025" (International Aquatic Expo) නමින් දැවැන්ත ප්‍රදර්ශනයක් දියත් කරන බව ධීවර අමාත්‍යාංශය පසුගියදා  (16) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ලෝක ධීවර දිනයට සමගාමීව, 2025 නොවැම්බර් මස 21, 22 සහ 23 යන තෙදින තුළ කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.

මෙම ජාතික වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා, පසුගිය සමයේ දැඩි අභියෝගවලට මුහුණ දුන් ධීවර කර්මාන්තය නැවත ගොඩනැගීමට රජය දක්වන කැපවීම අවධාරණය කළේය. "අප රජය භාර ගන්නා විට, යාත්‍රා දහස් ගණනක් ගොඩබිම නවතා, සමස්ත ධීවර කර්මාන්තයම කඩා වැටී තිබුණා. නමුත් රජයක් ලෙස මැදිහත් වී, ඉන්ධන සහනාධාර ලබා දී, එම යාත්‍රා නැවත මුහුදු යැවීමෙන් අපි මේ කර්මාන්තයට නව පණක් ලබා දුන්නා. අපේ අවසන් ඉලක්කය ශ්‍රී ලංකාව කලාපීය ධීවර මධ්‍යස්ථානයක් (Hub) බවට පත් කිරීමයි. 'Aqua Planet 2025' යනු, කුඩා ධීවරයාගේ සිට මහා පරිමාණ අපනයනකරු දක්වා සියලු දෙනාටම විවෘත වූ වේදිකාවක්. එමගින්, අපේ රට සතු විභවය ගෝලීය ප්‍රජාවට විදහා දක්වමින්, එම දැක්ම සාක්ෂාත් කර ගැනීමේ මූලික අඩිතාලම අපි දමනවා," යනුවෙන් ඒ මහතා පැවසීය.

ප්‍රදර්ශනයේ වැඩපිළිවෙළ පිළිබඳව විස්තර කරමින්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ පැවසීය: "මෙම දැවැන්ත ප්‍රදර්ශනය ප්‍රධාන අංශ දෙකකින් සමන්විතයි. ඒ, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මෙහෙයවන විසිතුරු මත්ස්‍ය අංශය සහ ධීවර දෙපාර්තමේන්තුව මෙහෙයවන සමස්ත ධීවර කර්මාන්තය ආවරණය වන අංශයයි. ඊට සමගාමීව, සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමටත්, බෙංගාල බොක්ක වැඩසටහන් අන්තර්-රාජ්‍ය සංවිධානයේ (BOBP-IGO) ජාත්‍යන්තර වැඩමුළුවක් පැවැත්වීමටත්, දේශීය සහ විදේශීය ආයෝජකයින් සඳහා ආයෝජන අවස්ථා හඳුන්වා දෙන විශේෂ මණ්ඩපයක් ක්‍රියාත්මක කිරීමටත් අපි කටයුතු යොදා තිබෙනවා."

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, "මෙම ප්‍රදර්ශනය දිගු ගමනක ආරම්භයක්. 'සෑම නිවසකටම මාළු ටැංකියක්' වැනි සංකල්ප හරහා පාසල් දරුවන්ගේ සිට සියලු දෙනා දැනුවත් කර, අපේ විසිතුරු මසුන් අපනයන ආදායම දෙගුණ කිරීමටත්, 'ශ්‍රී ලාංකික විසිතුරු මසුන්' යන්න ගෝලීය සන්නාමයක් බවට පත් කිරීමටත් අපි අපේක්ෂා කරනවා" යනුවෙන් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී, ප්‍රදර්ශනයට අදාළ නිල ලාංඡනය සහ වෙබ් අඩවිය(www.aquaplanet.gov.lk) දියත් කළ අමාත්‍යාංශය, මෙම ජාතික මෙහෙවරට එක්වන ලෙස මහජනතාවට විවෘත ආරාධනාවක් ද කළේය.