Wednesday, October 15, 2025
Follow Us
හම්බන්තොට නව පිරිපහදුව ගැන සයිනොපෙක් සමාගමෙන් පොරොන්දුවක්

හම්බන්තොට නව පිරිපහදුව ඉක්මණින් ඇරඹීමට සයිනොපෙක් සමාගම විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට පොරොන්දුවක් ලබා දී ඇත.

ඇමෙරිකා ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යංශයේ දී මුණගැසුණි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳාලීමට අමාත්‍යවරයා ලබා දුන් සහයෝගය සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා අගය කළේ ය. ඒ අනුව දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ද වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මීට අමතරව ව්‍යාපෘතිය ඇරඹීම සම්බන්ධයෙන් බලපා ඇති තවත් ගැටලු කිහිපයක් පිළිබඳව ලියැන්ගොන් මහතා විදේශ අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කළේ ය. මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් එම ගැටලු ඉතා ඉක්මණින් විසඳීමට මැදිහත් වන ලෙස ද ලියැංගොං මහතා විජිත අමාත්‍යවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකාව සහ එහි ආර්ථිකයට විදේශ ආයෝජන තුළින් සිදුවන ධනාත්මක බලපෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ගැටලු ඉතා ඉක්මණින් විසඳීමට තමා මැදිහත් වන බවට අමාත්‍ය විජිත හේරත් මහතා එකඟතාව ඵල කළේ ය. ඒ අනුව ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟතාවයක් ඇති කරගත්තේ ය.

මෙම දූත පිරිස බලශක්ති අමාත්‍යංශය, ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් සම්බන්ධිත ආයතන සමඟ ද අද දිනයේ සාකච්ඡා කිහිපයක් සිදු කිරීමට නියමිත ය.