Sunday, May 05, 2024
Follow Us
ජාත්‍යන්තර මැදිහත්වීම් - නීතිඥ චමින්ද්‍රි සපරමාදු

1997 වර්ෂයේ දී, රෝලන්ඩ් පැරිස් (Roland Paris) නමැති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයකු විසින් ලියන ලද (Peace Building and the Limits of Liberal Internationalism) (ජාත්‍යන්තර ලිබරල්වාදය සහ සාමය ගොඩනැගීම) නම් ලිපිය කියැවූ මා මතකයට ආවේ යහපාලන රජයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල පසුබෑමත් සමග ය.

සාමය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම් දියත් වූ ලැට්වියාව (Latvia), කාම්බෝජය (Cambodia), එල්සැල්වදෝරය (ElSalvador), නිකරගුවාව (Nicaragua), මොසැම්බික් (Mozambique), ඇන්ගෝලාව (Angola), රුවන්ඩාව (Rwanda) සහ බොස්නියාව (Bosnia) යන ලොව රටවල් අටක පශ්චාත් යුද වාතාවරණය අධ්‍යයනය කොට ඔහු මෙම ලිපිය ලියා තිබිණි. එම අධ්‍යයනය තුළින් ඔහු වැඩි වශයෙන් අවධානය යොමු කළේ මෙම ජාත්‍යන්තර මැදිහත්වීම්වල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයට වඩා එකී මැදිහත්වීම්වලට පදනම් වූ සංකල්පමය රාමුව විස්තර කරන්නට ය.

ඔහු පෙන්වා දෙන ආකාරයට Liberal Internationalism නැතහොත්, ජාත්‍යන්තර ලිබරල්වාදය යන තනි සංකල්පමය රාමුවක් මෙම මැදිහත්වීම්වල පදනම වී තිබේ. මෙම සංකල්පමය පදනම් මගින් අවධාරණය කර සිටින්නේ රටවල් අතර සහ රටවල් තුළ සාමය රඳා පවතින්නේ වෙළෙඳපොළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුවහොත් පමණක් බව ය. මෙය තවදුරටත් පැහැදිලි කළහොත්, යුද්ධයෙන් පීඩාවට පත් රටවල සිවිල් අර්බුද මර්දනය කොට සාමය සාක්ෂාත් කරගත හැක්කේ බටහිර රටවල පවත්නා සමාජ, දේශපාලන සහ ආර්ථික ක්‍රමවේදයන් ඒ රටවලට හඳුන්වා දීමෙන් පමණක් බව ය. ඒ අනුව, දේශපාලන සහ ආර්ථික ලිබරල්කරණය සාමය සඳහා අත්‍යවශ්‍ය සාධකයන් බව මෙවැනි ජාත්‍යන්තර මැදිහත්වීම්වල පදනමයි.

ජාත්‍යන්තරයේ, විශේෂයෙන් ම බටහිර රටවල සහාය ඇතිව බලයට පත් ‘යහපාලන’ ආණ්ඩුවේ පදනම වූයේ ද, මෙවන් සංකල්පයන් බව අමුතුවෙන් කිවයුතු නැත. ‘යහපාලන’ ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වූයේ ප්‍රජාත්‍රන්තවාදී රාජ්‍ය පාලනයක් සඳහා වූ ප්‍රතිසංස්කරණයන් වෙත ය. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලද්දේ ද ඉතා බැරෑරුම් න්‍යායපත්‍රයකි. ‘යහපාලනයේ’ මෙම ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතුළු මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, නීතිමය ප්‍රතිසංස්කරණ වැනි ඉතා පුළුල් පරාසයක ප්‍රතිසංස්කරණ ගණනාවක් ඇතුළත්ව තිබිණි. දින 100 වැඩසටහනට ද මෙයින් විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ඇතුළත් වී ය. නමුත්, දින 100 අවසානයේ නොහොත්, 2015 අප්‍රේල් මස අවසානයේ යහපාලන රජය සමත් වූයේ, මෙම ප්‍රතිසංස්කරණවලින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට පමණය.

නමුත්, වසර 4 1/2 කට පමණ පසු 19 වැනි සංශෝධනයෙන් ඇති කළ රාජ්‍ය පාලන තන්ත්‍රයේ වෙනස්කම්වලින් දිනෙන් දින රට අස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබේ. බල කඳවුරු දෙකක් මත රාජ්‍ය බලය කේන්ද්‍රගත වීමෙන් රාජ්‍ය පරිපාලනයට අත්‍යවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පවා අපහසු තත්ත්වයක් මේ වන විට උදා වී ඇති බව පෙනේ.

මෙම ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයෙන් ‘යහපාලන’ ආණ්ඩුවට වැරදුණු තැන් මොනවා ද?

රෝලන්ඩ් පැරිස් පෙන්වා දෙන ආකාරයට බොහෝවිට යුදමය පසුබිමක් ඇති රටවල දේශපාලන සහ ආර්ථික ලිබරල්කරණයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී ඇති බවට සාක්ෂි දක්නට ලැබේ. එනම්, දේශපාලන සහ ආර්ථික ලිබරල්කරණය මගින් පශ්චාත් යුදමය පසුබිමක සාමය ශක්තිමත් කරනවා වෙනුවට අපිට දක්නට ලැබෙන්නේ වර්ධනය වූ අර්බුදකාරී තත්ත්වයන් වන අතර, එමගින් සාමය ඇතිකිරීම හා ශක්තිමත් කිරීමට ඍණාත්මක බලපෑම් ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි. තවත් සමහර රටවල නව අර්බුදයන් ද ඇති වී තිබේ. උදාහරණ වශයෙන් ගතහොත් රුවන්ඩාව, ඇන්ගෝලාව වැනි රටවල ක්‍රියාත්මක වූ දේශපාලන ලිබරල්කරණය නිසා යළි වරක් ප්‍රචණ්ඩත්වය හිස ඔසවනු දක්නට තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනවාදී වෙළඳපළ ආර්ථිකය යනු තරගකාරීත්වය මත පදනම් වූ සංකල්පයක් වන අතර, එමගින් ඉදිරිපත් කරන්නේ ද සමාජ තරගකාරිත්වයම බව ඔහු පෙන්වා දෙයි. මෙම තරගකාරිත්වය මගින් කිසියම් දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික දියුණුවක් අපේක්ෂා කෙරුණද යුද්ධයෙන් පීඩාවට පත් රටවල පවත්නා විවිධ වාතාවරණයන් තුළ මෙවන් සමාජ තරගකාරීත්වයන් පාලනය කිරීමට අවැසි ක්‍රමවේදයක් හෝ පසුබිමක් තවමත් පූර්ණව සකස් වී නොමැත. එවන් පසුබිමක බටහිර පන්නයේ ආයතනික රාමු සකස් කිරීම ජාත්‍යන්තරය සිතන ආකාරයට අපේක්ෂා කරනු ලබන කාල සීමාවන් තුළ සිදුකිරීම ඉතා අසීරු කාර්යයකි. එමනිසා, මෙම ජාත්‍යන්තර ලිබරල්වාදය (Liberal Internationalism) යන මොඩලය මගින් සෑමවිටම බලාපොරොත්තු වන අභිලාෂයන් නොදෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවති යුද්ධය අවසන් වී වසර 5 1/2 කට පමණ පසුව පැමිණි ‘යහපාලන’ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව ඉතා පුළුල් පරාසයක් තුළ සිදුකරන නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ මගින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අපේක්ෂා කළ බව මුලින් සඳහන් කළෙමි. මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහස් දෙකක් වෙත යොමුවෙමු.

ප්‍රථමයෙන් ම පසුගිය රජයට එරෙහිව පෙළගැසුණු ජනතා අප්‍රසාදය පිළිබිඹු වන ‘රතුපස්වල’ සහ ‘කටුනායක නිදහස් වෙළෙඳ කලාප’ වැනි සිද්ධිවලින් ජනතාව අපේක්ෂා කළේ එවැනි බටහිර පන්නයේ ආයතන සහ නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒම ද නොඑසේ නම්, එම බලවේග පසුපස පැවතියේ සමාජ සාධාරණත්වය (Social Justice) පිළිබඳව කරුණක් ද යන්න ‘යහපාලන’ න්‍යායපත්‍රය සකස් කිරීමට දායක වූ ලිබරල්වාදීන්ට අවබෝධයක් නොතිබුණි.

දෙවැනි කාරණය වන්නේ යහපාලනයෙන් යෝජනා කෙරුණු සියලු දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ දරා ගැනීමට හෝ ඒවා රඳා පවත්වාගෙන යාමට අප රටේ දේශපාලන, ආර්ථික හා සමාජයීය පසුබිමක් නිර්මාණය වී තිබුණේ ද යන කාරණයයි. මගේ අදහස අනුව නම්, වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව ස්ථාවරත්වයට අඩිතාලම දමමින් සිටින වකවානුවක දී එවන් පුළුල් ප්‍රතිසංස්කරණයන්ට අවශ්‍ය සමාජීය පසුබිම ඒ වනවිට ගොඩනැගී නොතිබුණු බවයි. අපට වඩා හාත්පසින්ම වෙනස් සමාජ සංස්කෘතියක් ඇති බටහිර රටවල ආයතන පද්ධතිය අප රටේ එලෙස ම ක්‍රියාත්මක නොවන්නේ එහෙයිනි.

ජාත්‍යන්තර ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල දී නීති හා ආයතන පද්ධති ප්‍රජාතන්ත්‍රවාදීකරණයේ ප්‍රධානතම සහ එකම අංශය ලෙස සැලකේ. මෙහි පදනම වන්නේ නීති හා ආයතන, ඒවා ක්‍රියාත්මක වන පසුබිම තුළ ස්වාධීනව ක්‍රියාත්මකවීමත්, එමගින් ඔවුන් බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් ද සිදු කළ හැකිය යන්නයි. මෙමගින් උපකල්පනය කරන්නේ බටහිර ක්‍රමයට නිර්මාණය වූ මෙවැනි නීතී සහ ආයතන පද්ධතීන්, විවිධ රටවල පවත්නා සමාජ හා දේශපාලන ආර්ථික ක්‍රමයන්ට, විවිධ සංස්කෘතීන්ට, ඉතිහාසයන්ට සහ විවිධත්වයන්ට මෙන් ම, එවන් රටවල පවත්නා විවිධ රාජ්‍ය ස්වරූපයන්ට සහ ස්වභාවයන්ට පරිබාහිරව සහ ස්වාධීනව ක්‍රියාත්මක කළ හැකි බවයි.

ජොයෙල් මිග්ඩාල් (Joel Migdal) නමැති ජාත්‍යන්තර අධ්‍යයනයන් පිළිබඳව විශේෂඥවරයා විසින් රචනා කළ ‘සමාජයේ ඇති රජය’ (State in Society) යන ග්‍රන්ථයෙන් පෙන්වාදෙන ආකාරයට රජය යනු සමාජයෙන් වෙන්කළ හැකි ස්වාධීන අංගයක් (autonomous entity) නොවේ. එය සමාජය තුළ පිහිටුවා ඇති දෙයක් නිසා, රාජ්‍ය ආයතන සමාජ පරිවර්තනයන් සිදුකරන අතරම, පවතින සමාජයීය පසුබිම අනුව රටක නිර්මාණය වන ආයතනවල ස්වරූපය සහ ක්‍රියා කලාපද එමගින් නිර්වචනය වේ.

අප රට වැනි රටවල එලෙසින් ම ඉදිරිපත් කරන බටහිර මොඩලයට සැකසුණු ආයතනික ක්‍රියාත්මක කිරීම අපහසුවන්නේ එහෙයිනි. අපේ රට තුළ අපට ම ආවේණික ඉතිහාසයක්, සමාජ හා දේශපාලන ක්‍රමයක් පවතින බව ද, අප වසර තිහක යුද්ධය අවසන් කොට, ස්ථාවරත්වය කරා යෑමට පටන් ගත් රටක් බව ද, එම ගමන දිගු ගමනක් බව ද ‘යහපාලන’ ප්‍රතිසංස්කරණවාදීන්ට අමතක වන්නට ඇත. ඒ නිසා ම, ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කඩිනම් ප්‍රතිසංස්කරණ නිසා රට තව තවත් අස්ථාවරත්වයට පත්වූ බව පැහැදිලිය.

අප රටේ ස්ථාවර භාවය, සමාජ දියුණුව සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා යන ගමනේ දී මෙරට දේශපාලන ආර්ථික හා සමාජීය පසුබිම ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත්ය. මෙවන් දේ නිර්මාණය කිරීමේදී ජාත්‍යන්තර සම්මත විසඳුම් (Standard Solutions) අප රටට කුමන ආකාරයට සහ කොපමණ දුරට ගැළපේද යන්නත් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය. බටහිර පන්නයට සැකසුණු නීති හා ආයතනික පද්ධතිවලට එහා ගිය වෙනත් ක්‍රමවේදයන් පවතීද යන්නත් පිළිබඳව සොයාබැලීම වැදගත් වේ.

(Aruna)