- ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි
- වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා ගැනීමටත් මන්ත්‍රීවරියන් රෝස පැහැයෙන් සැරසීමටත් තීරණයක්.
සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සමගාමීව මෙරට පියයුරු පිළිකා මර්දනය සහ ඊට අදාළව සංවිධානය වන වැඩසටහන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
සංසදයේ සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විදෙස්ගතවීම හේතුවෙන් තාවකාලිකව පත්කරගනු ලැබූ සභාපතිනිය වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ මෙම රැස්වීමේදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ඇතුළු වෛද්‍යවරියන් විසින් පියයුරු පිළිකා මර්දනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීම සිදුවිය.
ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් 3 දෙනෙකු පමණ මිය යන බවත් මෙහිදී ඔවුහු පැවසූහ. පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැකි බවත්, ඒ සදහා සිදුකරන පරීක්ෂාවන් වලට අමතරව ස්වයං පියයුරු පරීක්ෂාව ද සිදු කර ගත යුතු බවත් වෛද්‍යවරියෝ පෙන්වා දුන්හ.
මේ පිළිබඳව මෙරට පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවත් ‘රෝස බදාදා’ නමින් විවිධ පාර්ශවවල සංවිධාන ශක්තියෙන් මෙරට පළමුවරට කොළඹ මියුසියස් විද්‍යාලයෙන් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් බව වැඩි කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව මෙම වැඩපිළිවෙලට සහය පළ කිරීම වෙනුවෙන් සෑම මසකම පළමු බදාදා දින රෝස පැහැති ටයි පටියකින් එම පාසැලේ ශිෂ්‍යාවන් පැමිණීම සිදුවේ. මෙම දැනුවත් කිරීම සහ වැඩසටහන් දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මන්ත්‍රීවරියන් අවධාරණය කළහ.
එසේම මීළඟ පාර්ලිමේන්තු සතියේදී තෝරාගත් දිනක මෙම වැඩසටහනට සහය පළ කරමින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ කාර්ය මණ්ඩලය රෝස පැහැයෙන් සැරසී පැමිණීමටත් මේ පිළිබඳව සභාව තුළ විවාදයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමටත් මෙහිදී තීරණය විය.
එසේම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් සියලුම පාසැල්වල උදය රැස්වීමේදී පාසැල් ළමුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද තීරණය විය. තවද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් පියයුරු පිළිකා මර්දනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමටත් සංසදය විසින් තීරණය කරන ලදී.
සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, චතුරි ගංගානි සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු ද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ඇතුළු වෛද්‍යවරියන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.