Tuesday, July 07, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ බහුදින සහ එක්දින ධීවර යාත්‍රාවල නිරීක්ෂණ පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමේ තීරණයක්
නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම සහ ධීවර යාත්රා යොදා ගෙන කරනු ලබන මත්ද්රව්ය ජාවාරම, මිනිස් ජාවාරම් සහ නීති විරෝධී භාණ්ඩ ප්රවාහනය ඇතුළු අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම, ශ්රී ලංකාවේ මෙන්ම ලොව පුරා ධීවර කර්මාන්තයේ යෙදෙන රටවල් මුහුණ දෙන බරපතල ගැටලුවකි.
 
එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දේශීය වශයෙන් ද, කලාපීය වශයෙන් හා ජාත්යන්තර වශයෙන් ද විවිධ ක්රියාමාර්ග අනුගමනය කරනු ලැබ ඇත. කලාපීය වශයෙන් ශ්රී ලංකාව ඉන්දියානු සාගර ටුනා කොමිසමේ සාමාජිකයෙකු වන අතර, එම කොමිසමේ නිතිරීති අනුව ජාත්යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත සෑම ධීවර යාත්රාවක්ම යාත්රා නිරීක්ෂණ පද්ධතිය මඟින් අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු වේ.
 
දැනට ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ලියාපදිංචි බහු දින ධීවර යාත්රා 5,200ක් අතරින් බහුදින ධීවර යාත්රා 4,200 ක් සඳහා ඕස්ට්රේලියානු රජයේ ප්රදානයක් ලෙස ලැබුණු නිරීක්ෂණ පද්ධති උපාංග සවි කරනු ලැබ ඇත.
 
2021-01-01 දිනෙන් පසුව අලුතින් ලියාපදිංචි කරනු ලබන සෑම බහුදින ධීවර යාත්රාවක් සඳහාම යාත්රා නිරීක්ෂණ පද්ධති සවි කිරීම අනිවාර්ය බැවින්, එදින සිට ලියාපදිංචි කරනු ලබන යාත්රා සඳහා යාත්රා හිමියන් විසින් යාත්රා නිරීක්ෂණ පද්ධති උපකරණ මිල දී ගෙන සවි කර ගැනීම සිදු කරනු ලබයි. 2021-01-01 දිනට පෙර බහුදින ධීවර යාත්රා වශයෙන් ලියාපදිංචිව දේශීය මුහුදේ මෙන්ම ඇතැම් අවස්ථාවලදී ජාත්යන්තර මුහුදේ ද රැකියාවේ නිරත යාත්රා නිරීක්ෂණ පද්ධති නොමැති බහුදින ධීවර යාත්රා සහ එක් දින ධීවර යාත්රා 1,500 ක් පමණ තිබේ.
 
ඒ අතරින්, අඩි 34 ට වඩා දිගින් යුත් යාත්රා 400 ක් ඕනෑම අවස්ථාවක ජාත්යන්තර මුහුදේ ධීවර කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමට හැකියාව පවතී.
 
ඊට අමතරව පවතින යාත්රා 1,100 ඒවායේ එන්ජින් ධාරිතාව හා ඉන්ධන ධාරිතාව අනුව ඉතා දිගු කලක් මුහුදේ ගත කිරීම සඳහා ප්රමාණවත් තාක්ෂණික යෝග්යතාවක් නොමැති යාත්රා වේ.
 
ඒ අනුව, එම යාත්රා 1,500 සඳහා ද යෝග්ය නිරීක්ෂණ පද්ධති සවි කිරීම අනිවාර්ය කිරීමටත්, ඒ සඳහා වන වියදම් රජය විසින් දැරීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී