Tuesday, June 23, 2026
Follow Us
රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලුවලට තිරසර විසඳුම් සෙවීමට කොමිෂන් සභාවක්
රාජ්ය නිලධරයන්ගේ සහ විශ්රාමිකයන්ගේ වැටුප් සහ විශ්රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන විශ්රාමික අමාත්යාංශ ලේකම්වරයෙකු වන අශෝක පීරිස් මහතාගේ සහාපතිත්වයෙන් යුත් වැටුප් සහ විශ්රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පියවර ගෙන ඇත. ඒ අනුව, 2026.06.22 දිනැති අංක-2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්රය මගින් එම කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.
වැටුප් සහ විශ්රාම වැටුප් ප්රතිපත්ති තිරසර ආකාරයට කළමනාකරණය කිරීම පිණිස වසර ගණනාවක් පුරා ඇති වී ඇති වැටුප් විෂමතා සහ රාජ්ය මූල්ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින් රාජ්ය නිලධරයන්ගේ සහ විශ්රාමිකයන්ගේ වැටුප් සහ විශ්රාම වැටුප් පිළිබඳව ඇති ගැටලු සඳහා තිරසර විසඳුම් ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාව වෙත පැවරේ.
 
මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් මෙසේය.
 
1.කුරුප්පුගේ ඛේමා ඈන් විදූර්යා ස්වර්ණාධිපති
2.අලගියාදුර ප්රේමලාල් අබේසිංහ ගුණසේකර
3.නියන්ගම බාලසූරියගේ මොන්ටි රණතුංග
4.නඩරාජ් රවිචන්දර්
5.වෛද්ය රන්දොඹගේ විමල් ජයන්ත
6.ආචාර්ය ගම්ලත් මොහොට්ටිගේ මුදිත් සුජීව
7.හත්තසින්ගේ තිලකවර්ධන
8.බ්රිගේඩියර්(විශ්රාමික)පියල් ජූඩ් ප්රනාන්දු
9.අහමඩ් ලෙබ්බේ මොහොමඩ් මුක්තාර්
10.සෙනරත් තිස්ස බණ්ඩාර රත්නායක
11.අබේසිංහ වීරකෝන් ලාල් චන්ද්ර වීරකෝන්
12.ගජධීර ආරච්චි පියල් පත්මනාත
13.ජයවීර පතිරණ
14.කොස්වින්නගේ සරත් ලාල් පෙරේරා
 
තවද, 2026 අප්රේල් මස 06 දිනැති අංක 26/0622/816/018-1 දරන අමාත්ය මණ්ඩල තීරණය පරිදි අංක SC/FR 23/2014 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ 2026.02.25 දිනැති ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සැලකිල්ලට ගනිමින් සමස්ත රාජ්ය සේවයේ ව්යුහාත්මක ප්රතිසංස්කරණයක් සඳහා වන යෝග්ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමද මෙම කොමිෂන් සභාවට පැවරෙනු ඇත.
 
ඉහත යෝජනා ඉදිරිපත් කිරීමේදී නව තාක්ෂණික ප්රවණතා සහ ගෝලීය ප්රවණතා පිළිබඳවද අවධානය යොමු කර අනාගත වෙනස්වීම්ද පුරෝකථනය කරමින් ඉහත නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම, වෙනස් වන ගෝලීය තාක්ෂණික පරිවර්තනයන් සමඟ අනුකූල වන අනාගතයකට සරිලන පරිදි තාක්ෂණිකව සවිබලගැන්වූ පුරවැසි කේන්ද්රීය, ආචාරධර්මානුකූල සහ වගකීම් සහිත රාජ්ය සේවයක් ගොඩනැගීම සඳහා උපායමාර්ග නිර්දේශ කිරීමද මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇත.