Tuesday, January 27, 2026
Follow Us
රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට

2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2025 වසරේ නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වූ අතර, එම කාලය තුළ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මහජනතාවට බරපතල දුෂ්කරතා මුහුණ දීමට සිදුවිය.

ඒ සමඟම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ බව ද සඳහන් වේ.

මෙම තත්ත්වය මත මාර්ග ආරක්ෂාවට හා මාර්ග භාවිත කරන්නන්ට අහිතකර බලපෑමක් සිදු නොවනු පිණිස, 2025 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 24 දක්වා වලංගු කාලය ඉක්මවීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රයන්හි වලංගු කාලය, එම කල් ඉකුත් වීමට නියමිත දිනයෙන් මාසයක කාලයකින් දීර්ඝ කර ඇත.

ඒ සඳහා 2025 දෙසැම්බර් 17 දින නිකුත් කළ අංක 2467/52 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් නියෝගය ප්‍රකාශයට පත් කර ඇති අතර, (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතට අනුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මෙම අනුමැතිය ලැබී තිබේ.