Tuesday, January 27, 2026
Follow Us
කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව – රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමක්

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ සුහද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන රුමේනියාව, ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර සහ සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්ව තිබේ.

වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවාගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍රලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මඟින් සිදු කෙරේ. කෙසේ වෙතත්, ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක සහ තිරසර බඳවාගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව දෙපාර්ශ්වය විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම ගිවිසුම මගින්,

  • ශ්‍රමික බඳවාගැනීම් සහ කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම

  • සදාචාරාත්මක හා විනිවිදභාවයෙන් යුතු බඳවාගැනීමේ පිළිවෙත් ප්‍රවර්ධනය

  • සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කිරීම

  • දෙරටේ නිසි බලධාරීන් අතර නිරන්තර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම

  • කම්කරු ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගිතාව, කුසලතා පිළිගැනීම සහ ධාරිතා වර්ධනය වැඩිදියුණු කිරීම
    යන අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ.