ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින "ලෝක ළමා දිනය" ලෙස පිළිගෙන සමරනු ලබයි. මෙම වසරේදී "ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට" යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025‑09‑25 දිනෙන් ආරම්භව 2025‑10‑01 දින දක්වා ප්‍රධාන ජාතික සැමරුම ද ඇතුළත්ව "ළමා දින ජාතික සතියක්" ප්‍රකාශයට පත් කිරීමටත්, ඒ යටතේ පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී තිබේ.
එම සතිය පහත සඳහන් පරිදි වැඩසටහන් සංවිධානය කර තිබේ.
දිනය | වැඩසටහන |
---|---|
2025‑09‑25 | ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට විදුහල්පතිවරුන්ගේ භූමිකාව පිළිබඳ දැනුම්වත් කිරීම - (අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය) |
2025‑09‑26 | පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවාහන දීපව්‍යාප්තව පරීක්ෂා කිරීම හා ස්ටිකර් ඇලවීම - (ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව) |
පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ප්‍රතිසංවිධාන කිරීම - (අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය) | |
2025‑09‑27 | ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පෙර පාසල් ගුරු භූමිකාව පිළිබඳ පාලිකාවන් දැනුම්වත් කිරීම - (මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය) |
2025‑09‑28 | මත් උවදුරින් දරුවන් වැළැක්වීම පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම - (ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) |
2025‑09‑29 | ළමා අයිතිවාසිකම් සුරකීමට ආගමික නායකයන්ගේ කාර්යභාරය පිළිබඳව දැනුම්වත් කිරීම - (බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය) |
පවුල මූලික කර ගත් රස වින්දනාත්මක වැඩසටහන් පැවැත්වීම - (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව) | |
2025‑09‑30 | සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් (1‑5 ශ්‍රේණිය) - (සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය) |
2025‑10‑01 | ලෝක ළමා දින ජාතික උත්සවය |
සතිය පුරා | අනාරක්ෂිත දරුවන් හඳුනාගැනීම සහ වීදි දරුවන් පරීක්ෂා කිරීමට අදාළ වැටලීම් සිදු කිරීම - (ශ්‍රී ලංකා පොලීසිය) |