(ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව 2021 ජුලි 15 වැනි දින පැවති පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක දී ශ්‍රී ලංකාව සබ්මැරීන් කේබල් ආරක්ෂණ හා ඔරොත්තු දීමේ රාමුගත වැඩපිළිවෙල දියත් කළේය.
එවැනි රාමුගත වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වන අතර, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (GMCP) හරහා ලබා දෙන ලද ජපාන රජයේ නොමසුරු සහයෝගය නොවන්නට, එය කළ නොහැකි වනු ඇත.
අගුළු දැමීම්, දුරස්ථ වැඩ සහ අතථ්‍ය සම්මන්ත්‍රණ සහිත මෙම නව යුගයේ දී, ගෝලීය ඩිජිටල් සන්නිවේදනයන් මත අපගේ රඳාපැවැත්ම අති මහත් ලෙස වර්ධනය වී ඇති අතර, බොහෝ දෙනා වැරදි ලෙස උපකල්පනය කරනු ලබන්නේ එම දත්ත යැවීම චන්ද්‍රිකා මඟින් සිදුකෙනෙ බවයි. එහෙත් යථාර්ථය නම්, සියලු ජාත්‍යන්තර ඩිජිටල් දත්ත සහ සන්නිවේදනයන්ගෙන් 99% කට වඩා වැඩි ප්‍රමාණයක් මාරු කරනු ලබන්නේ, ලෝක සාගර හරහා කිලෝමීටර් මිලියන 1.8 කට වඩා දුරට විහිදෙන 400 කට අධික කේබල් ජාලයක් ඔස්සේ වීමය.
2019 නොවැම්බර් සහ 2020 අප්‍රේල් මාසයේ දී අගුලු දැමීමේ මුල් අවධීන් අතර කාලයේ දී අන්තර්ජාල ගමනාගමනය 25% - 50% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, අප “නව සාමාන්‍යයට” අනුවර්තනය වන විට මෙය දිගටම පවතිනු ඇති බවට ජාත්‍යන්තර කේබල් ආරක්ෂණ කමිටුව (ICPC) විසින් ඇස්තමේන්තු කර ඇත. 2020 ජූලි 31 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා සූම් වීඩියෝ සන්නිවේදනවල ආදායම පෙර වසරට සාපේක්ෂව 355% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය පුළුල් ලෙස පැතිර ගිය දුරස්ථ වැඩ, දුරස්ථ අධ්‍යාපනය සහ දුරස්ථ පුද්ගලික වීඩියෝ සන්නිවේදනයේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන වීඩියෝ සම්මන්ත්‍රණ පිළිබඳ එක් හැඟවීමක් පමණි.
මෙම ගෝලීය ජාලය මත අප තබා ඇති විශ්වාසය මත පදනම්ව, එය හැකි තාක් දුරට ඔරොත්තු දීමේ හැකියාවකින් යුතුව පැවතීම තීරණාත්මක කරුණකි.
ආරම්භක දේශනය පවත්වමින්, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අවධාරණය කළේ, අපගේ අධිකරණ බල සීමාව හරහා කේබල් කිහිපයක් ගමන් කිරීම පිළිබඳ තර්ජන සහ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවබෝධ කොට ගෙන ඇති බැවින්, අවශ්‍ය ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව ලබා දීම සඳහා සබ්මැරීන් කේබල් පිළිබඳ ජාතික සැලැස්මක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (GMCP) සහ ජාත්‍යන්තර කේබල් ආරක්ෂණ කමිටුව (ICPC) වැනි ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කරන බවයි.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුකූලව සහ කේබල් ආරක්ෂා කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටීම පිළිබඳ කරුණ ඉස්මතු කරන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවක් (A/RES/73/124, 2018 දෙසැම්බර් 31) පිළිබඳව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ වැඩසටහන් සම්බන්ධීකාරක කෙයිට්ලින් මෙරඩිත් මහත්මිය සඳහන් කළාය. “සිය ජාතික රාමුගත වැඩපිළිවෙල සංවර්ධනය කිරීමේ දී මෙන්ම, වඩාත් පුළුල් ලෙස සමුද්‍රීය ආරක්‍ෂණ ක්‍ෂේත්‍රය තුළ දී ලබා දෙන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ නායකත්වය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය අගය කරන බව” සහ “එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව හවුල්කාරිත්වයක් මෙන්ම, උගත් යහපත් පරිචයන් හා පාඩම් සමහරක් පුළුල් ලෙස කලාපය වෙත බෙදා හැරීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව” ඇය තවදුරටත් අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසරය සහ දේශගුණික විපර්යාස අංශය ඒකාබද්ධව ජාත්‍යන්තර කේබල් ආරක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ තාක්ෂණික සහාය ද ඇතිව මෙම රාමුගත වැඩපිළිවෙල සංවර්ධනය කිරීම සිදු කරන ලදී.
මෙම ක්‍රියාවලිය 2020 සැප්තැම්බර් මාසයේ දී පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් ආරම්භ වූ අතර, ඉන් අනතුරුව අථත්‍ය උපදේශන මාලාවක් ද පැවැත්විණි. ජාත්‍යන්තර කේබල් ආරක්ෂණ කමිටුව විසින් නිර්දේශ කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් මෙම රාමුගත වැඩපිළිවෙලට ඇතුළත් වේ.
රාමුගත වැඩපිළිවෙල දියත් කිරීමේදී, කොළඹ ජපාන තානාපති කාර්යාලයේ අමාත්‍ය සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කිටමුරා ටොෂිහිරෝ මහතා “ජාතික රාමුගත වැඩපිළිවෙල නිසැකවම, ‘සෞභාග්‍යයේ දැක්ම’ මඟින් අපේක්ෂිත වාණිජ හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් මෙන්ම ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ශක්තිමත් කරනු ඇත.” යයි සඳහන් කළේය. “ජාතික රාමුගත වැඩපිළිවෙල සංවර්ධනය කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව ගන්නා ලද මෙම පියවර, ඉන්දියානු සාගරයේ දීප්තිමත් ආලෝකයක් ලෙස නැගී සිටිමින්, ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු කලාපයටම විශාල ඉදිරි ගමනක් වනු ඇත.” යයි ද සඳහන් කෙරිණ.
ප්‍රකාශ තන්තු සබ්මැරීන් කේබල් සුරක්‍ෂිත කිරීම සඳහා රටවල් විසින් ක්‍රියාශීලී ලෙස පියවර ගැනීමේ අවශ්‍යතාව හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවට අනුකූලව, ශ්‍රී ලංකාවේ ශක්තිමත් හා ඔරොත්තු දෙන සබ්මැරීන් කේබල් පිළිබඳ පරිසර පද්ධතියක් සහතික කිරීමේ වැදගත්කම පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා අවධාරණය කළේය. “ප්‍රගතිශීලී ජාතික සබ්මැරීන් කේබල් ආරක්ෂණ හා ඔරොත්තු දීමේ රාමුගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුලපිරීම මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ තාක්‍ෂණ සේවා හා නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳ දැක්ම තවදුරටත් ශක්තිමත් කරනු ඇත.” යයි ඔහු තවදුරටත් ඉස්මතු කළේය.
මෙම රාමුගත වැඩපිළිවෙල සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පාදනය කෙරෙමින් පවතින නීති මඟින්, ඉන්දියන් සාගරයේ සමුද්‍රීය හා සේවා සැපයීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රක්ෂේපණය කරමින් ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රතිරූපය නංවාලීම සඳහා තවදුරටත් දායක වනු ඇත.
විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්තේ දිසානායක මහත්මිය, මෙම ක්‍රියාවලියේදී විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරය වී ඇත්තේ සියලුම පාර්ශ්වකරුවන් එක්කර ගැනීම සහ ශ්‍රී ලංකාව විසින් අවධානය යොමු කළ යුතු වැදගත් අංගයක් සම්බන්ධයෙන් අදාළ ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා නියෝජිතායතන සමඟ සම්බන්ධ කිරීම බව පැහැදිළි කළාය. මෙම සබ්මැරීන් කේබල, තීරණාත්මක යටිතල පහසුකම් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ඇය තවදුරටත් අවධාරණය කළාය.
මෙම ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ අත්දැකීම්, මේ වසරේදී ශ්‍රී ලංකාව උප සභාපති ධුරයට සහ 2023 සිට 2025 දක්වා සභාපති ධුරයට පත් වනු ලබන, ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් සමඟ බෙදාහදා ගනු ඇත.
ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සමඟ, මෙම දියත් කිරීමේ වැඩසටහන අවසන් විය.
විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 ජූලී 18වැනි දින