Thursday, September 24, 2026
Follow Us
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24)  පැවැත්විණි.

දේශීය හා විදේශීය වෙළඳපොළේ නැගී එන කර්මාන්ත සඳහා අවශ්‍ය කුසලතාපූර්ණ ශ්‍රමිකයන් පිරිසක් බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, වෘත්තීය අධ්‍යාපන මාර්ග පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද  සඳහන් කළාය.

තරුණ ප්‍රජාවට දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළ ජයගත හැකි පරිදි, නවීන ලෝකයේ ඉල්ලුමට සරිලන පරිදි තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය යාවත්කාලීන කිරීමටත්, ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමටත් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය  වැඩිදුරටත් අවධාරණය කළාය.

රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිත පිරිස, මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට සහ සහය දැක්වීමට සිය  කැමැත්ත පළ කළහ.

එහිදී දෙරටටම වැදගත් වන උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි ඇති ආයෝජන අවස්ථා වෙත අවධානය යොමු කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය නියෝජිත පිරිසට ඇරයුම් කළාය.

දෙරට අතර කුසලතා සංවර්ධනය, පුහුණු ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම මෙන්ම අනාගත ආයෝජන සහ සහයෝගීතාවන් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

මෙම අවස්ථාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපජනාධිපති පෞද්ගලික කාර්යාලයේ (ආයෝජන) ප්‍රධානී මහමුද් ජසීම් අබ්දුල්ලා අල් අලි, AYAT සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නසාර් අලි යස්ලාම්, HSH Real Estate සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සයීඩ් අල් හිනායි, Green River LLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉමාද් අබෙඩ් අල්හාදි, ඩුබායි හි ශ්‍රී ලංකා මහකොන්සල් ඇලෙක්සි ගුණසේකර, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බොගහවත්ත යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.