2025 සැප්තැම්බර් මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු ම රථවාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම අනිවාර්යයි.
සුරක්ෂිත රිය ධාවනයත් මගී ආරක්ෂාවත් මූලික කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනේ ආසන බඳ පටි පැළඳීමේ අවශ්‍යතාවය පිළිබඳ රථවාහන රියදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ තවත් අදියරක් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රයේ දී අද (25) පැවැත්විණ.
රට තුළ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ දර්ශකය ප්රශස්ත තත්ත්වයක පවත්වා ගැනීමත්, ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමත් සඳහා මෙම දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
2025 සැප්තැම්බර් මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලූම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර, මෙම ක්‍රියාමාර්ගයන්ට අදාළව රියදුරන් හා මගී ජනතාව දැනුම්වත් කිරීම පිණිස අත් පත්‍රිකා බෙදා දීම ද සිදු කෙරිණ.
මෙම අවස්ථාවට එක්වූ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා : ‘ආසන පටි පැළඳීම නියමානුකූලව සිදුකර තමන්ගේ ජීවිතය මෙන් ම අන් අයගේත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් දායක වන මෙන් සියලූම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් මා ආදරයෙන් ඉල්ලා සිටිනවා. තරගකරුවෙකු වශයෙන් මම තරගයකට සහභාගිවන අවස්ථාවලදී ජීවිතාරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත පටි 05 ක් පළඳිනවා. මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සෑම දෙනෙකුම සහයෝගය ලබාදෙනු ඇතැයි මා බලාපොරාත්තු වෙනවා.’