Thursday, June 12, 2025
Follow Us

මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

මෙම DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් ඇතුලු වෘත්තිකයින් නිල වශයෙන් මෙහිදී පිළිගන්නා ලදි. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා අතිනවීන 4K ඩිජිටල් ස්ටුඩියෝ සංකීර්ණයක් ද ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, සෑම ශ්‍රී ලාංකික රූපවාහිනී නරඹන්නෙකුට ම අධි විභේදන (HD) නැරඹීමේ අත්දැකීමක් ලබා දීමෙන් වසර 46 කට වඩා පැරණි ඇනලොග් විකාශන පද්ධතිය ඩිජිටල් විකාශන වේදිකාවකට සංක්‍රමණය වනු ඇත. ඩිජිටල් පද්ධතියේ ඉහළ වර්ණාවලි කාර්යක්ෂමතාව හරහා එකම වර්ණාවලිය තුළ අමතර රූපවාහිනී නාලිකා සඳහා විශාල ධාරිතාවක් වැඩිදියුණු කිරීමට එය ඉඩ සලසයි. මේ අනුව නරඹන්නන් සඳහා උසස් තත්ත්වයේ ඩිජිටල් නැරඹුම් අත්දැකීමක් සහ විකාශකයින් සඳහා කරදරයකින් තොර තාක්ෂණික මෙහෙයුම් ලබාදෙනු ලැබේ.

මීට අමතරව මෙහි තවත් ප්‍රධානතම වාසියක් වන්නේ, මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමග නිදහස් වන සංබ්‍යාත පරාසය, ප්‍රධාන වශයෙන් 700Mz Band එක, 5G තාක්ෂණය ශ්‍රි ලංකාවේ ප්‍රවර්ධනය කිරීමටත් එමගින් ග්‍රාමීය ප්‍රදේශ වලට broadband අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුලු විදුලිසංදේශ සේවාවන් පුළුල් කිරීමටත් යොදාගැනීමට හැකියාව ලැබීමයි.

DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් නිල වශයෙන් පිළිගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල්ජාසිංහ මහතා විසින් සිදු කරන ලද අතර, DTTB ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රසංග රාජපක්ෂ මහතා DTTB ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ විකාශන අංශයට එහි උපායමාර්ගික වැදගත්කම පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙහිදී සිදු කරනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාවේ විකාශන අංශයට මෙන්ම ඩිජිටල් ආර්ථික මුලපිරීම්වල වර්ධනය සඳහා දිගුකාලීන අපේක්ෂාවක් වූ සහ පරිවර්තනීය මුලපිරීමක් වන ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතියේ තාක්ෂණික මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරින් මුල් බැසගත් මිත්‍රත්වය සහ සහයෝගීතාවය නැවත තහවුරු කිරීමේ දී වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසී ය.

විවිධ හේතූන් මත DTTB ව්‍යාපෘතිය වසර දහයකට අධික කාලයක් ප්‍රමාද වූ නමුත් නව රජය යටතේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට, දිගුකාලීන ගැටළු නිරාකරණයට සහ ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට තීරණාත්මක පියවර ගෙන තිබෙන බවත්, මෙය තාක්ෂණික වැඩිදියුණු කිරීමේ කාරණයක් පමණක් නොව මෙරට විදුලි සංදේශ යටිතල පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රමුඛතා කරුණක් බව ද පැවසී ය.

ඇනලොග් විකාශනයෙන් ඩිජිටල් විකාශනයට යාවත්කාලීන වීම ශ්‍රී ලාංකික මාධ්‍ය ක්ෂේත්‍රයේ සන්ධිස්ථානීය වෙනසක් නියෝජනය කරන බවත්, එය දිවයින පුරා රූපවාහිනී විකාශනයේ ගුණාත්මකභාවය සහ ප්‍රවේශ්‍යතාව ඉහළ නංවන බවත්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන නවීන උසස් තත්ත්වයේ විකාශන සේවා සඳහා මඟ පාදනු ඇති බව ද පෙන්වා දෙන ලදි. 

මෙම ව්‍යාපෘතිය මගින් රටේ ඩිජිටල් ආර්ථික අභිලාෂයන්ට සහාය වීම සඳහා වඩා හොඳ මහජන සේවා විකාශනයක් සැපයීම, ග්‍රාමීය ප්‍රජාවන්ට වැඩි තොරතුරු ප්‍රවේශයක් සහතික කිරීම සහ මාධ්‍ය යටිතල පහසුකම් නවීකරණය කිරීම අරමුණ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

ජපානය දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනේ විශ්වාසදායක හවුල්කරුවෙකු වී ඇති බවත්, DTTB ව්‍යාපෘතිය ද එම වටිනා හවුල්කාරිත්වයට සාක්ෂියක් වන බව ද පෙන්වා දෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මාධ්‍ය, තාක්‍ෂණය සහ ඉන් ඔබ්බට සහයෝගීතාව සඳහා නව අවස්ථා විවෘත කරනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසී ය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය පුරාවටම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වන බව ද පැවසී ය.

මෙම වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය තුළ, සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් විනිවිද පෙනෙන සහ සියල්ල ඇතුළත් සාකච්ඡා හරහා ප්‍රගතියක් ලබා ගැනීම සහතික කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත්, මෙම ජාතික කර්තව්‍යය සාර්ථකව සාක්ෂාත් කර ගැනීම සඳහා එවැනි සංවාදයක් ඉතා වැදගත් බව ද පෙන්වා දෙන ලදි.

සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන, නව්‍යකරණයෙන් පිරුණු සහ පුළුල් ඩිජිටල් විකාශන අනාගතයක් සඳහා වන ගමනේ දී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට සහ කෙටි කාලයක් තුළ එහි ප්‍රතිලාභ කර්මාන්තයට ලබාදීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙස ප්‍රධාන උපදේශකවරයාගෙන් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.

මෙම අවස්ථාවට මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය  හර්ෂණ සුරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ  නියෝජ්‍ය ප්‍රධානී කමෝෂිඩා නාඕකි, ජපානයේ Yachiyo ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන උපදේශක නම්බු නාඕකි, මෙරට JICA ව්‍යාපෘතියේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කැලුම් විජේනායක මහතා ඇතුලු පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් පිරිසක් එක්ව සිටියහ.