Sunday, May 11, 2025
Follow Us
58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබ පැතුම් එක් කළේය. ඒ, කොළඹ කැම්පොරියේ සංවිධායක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් නායකයින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (07) අගමැතිවරයා මුණගැසුණ අවස්ථාවේදීය.

රටට දක්ෂ මෙන්ම විනයගරුක නායකයන්ගේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණර්වධන මහතා ස්වෙච්ඡා නිලධාරීන් මෙවැනි වැදගත් සමාජ හිතකාමී ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම ඉහළින් අගය කළේය. 

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය දෙසැම්බර් 8, 9 සහ 10 යන දිනවල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැවත්වෙන අතර බාලදක්ෂයෝ මෙන්ම බාලදක්ෂ නායකයෝ දොළොස් දහසකට වැඩි පිරිසක් සම්බන්ධ වන මෙම කඳවුරේ මෙවර තේමාව 'හදවතින් මෙන්ම මනසින් පිරිපුන් බාලදක්ෂයින්' (Scouting with Heart and Mind) යන්නය.