Sunday, June 08, 2025
Follow Us
වතු කම්කරු වැටුප් වැඩි කරන්න බෑ - හාම්පුතුන්ගේ සංගමය රජයට කියයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළද එතරම් ඉහළ වැටුපක් ලබාදීමේ හැකියාවක් නොමැති බව තේවතු හිමියන් රජය වෙත දන්වා තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී ‍ඊයේ (20) පැවති රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සමග පැවති මෙම සාකච්ඡාව සඳහා වතු වැවිලිකරුවන්ගේ සංගමය, ලංකා සේව්‍ය සම්මේලනය සහ විධායක නිළධාරීන් සහභාගි වී තිබේ.

එ‍හිදී අදාල සංගම් පෙන්වා දී තිබෙන්නේ වතුවල ඵලදායිතාවය වැඩිවීම මත යම් වැටුප් වැඩි කිරීමක් සිදුකළ හැකි බවයි. එහෙත් රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීම කිසිසේත් සිදුකළ නොහැකි බව එම සංගම් පෙන්වා දී තිබෙනවා.

(LNW)