Thursday, November 05, 2026
Follow Us
වැලිමඩ වැවිලි ප්‍රජාවට නව නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් හෙට ඇරඹේ

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා සුරක්ෂිත නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැවිලි ප්‍රජාවට අයත් පවුල් 170ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය හෙට (06) ආරම්භ කිරීමට නියමිතය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ, ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සහ මුල්ගල් තැබීම වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අබරගල වත්තේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ එක් ප්‍රතිලාභී පවුලක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට නියමිත අතර, ඒ අනුව නිවාස 170 ඉදිකිරීම සඳහා රජය විසින් වෙන්කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 850කි.

අදාළ මුදල් අදියර තුනක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇති අතර, එම අදියර තුන සඳහා පිළිවෙළින් රුපියල් ලක්ෂ 20ක්, රුපියල් ලක්ෂ 15ක් සහ රුපියල් ලක්ෂ 15ක් බැගින් ලබාදීමට නියමිතය.

නිවාස 170ම එකම භූමි ප්‍රදේශයක සැලසුම් සහගතව ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහා හෙක්ටයාර පහක භූමි ප්‍රමාණයක් වෙන්කර තිබේ. එක් නිවසක් සඳහා පර්චස් 10ක භූමි ප්‍රමාණයක් බැගින් වෙන්කර දීමට ද නියමිතය.

මීට අමතරව, ප්‍රතිලාභී පවුල් සඳහා පොදු පහසුකම් සහිත සංවිධානාත්මක ගම්මානයක් එම භූමිය තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ප්‍රජාශාලාවක් සහ ක්‍රීඩා භූමියක් ඉදිකිරීමටත්, මාර්ග, ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත් නියමිතය.