පාරිභෝගික ජනතාවට දියර ආහාරවල අඩංගු සීනි ප්රමාණය නිවැරදිව හා පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ ක්රියාත්මක වන දියර ආහාර සඳහා සීනි මට්ටම් වර්ණ සංකේතවත් කිරීමේ නියෝග සංශෝධනය කරමින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්රකාශයට පත් කර තිබේ.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම නියෝග ප්රකාශයට පත් කර ඇති අතර, එය 2026 ජුනි 23 දින අංක 2494/06 දරන ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කර ඇත.
මෙම සංශෝධන මඟින් දියර ආහාර ඇසුරුම් මත සීනි අන්තර්ගතය දැක්වෙන වර්ණ සංකේත ලාංඡන වඩාත් පැහැදිලි හා ඒකාකාරී ආකාරයෙන් ප්රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, වීදුරු බෝතල් වැනි සීමිත මුද්රණ ඉඩකඩක් සහිත ඇසුරුම් සඳහා භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක් ද හඳුන්වා දී ඇත.
තවද, ලාංඡනයේ ප්රමාණය, වර්ණය, "සීනි / Sugar" යන සඳහන් කිරීම හා සීනි ප්රමාණය ප්රදර්ශනය කිරීම සම්බන්ධ නව තාක්ෂණික ප්රමිතීන් ද මෙම සංශෝධනය මඟින් හඳුන්වා දී ඇත. එසේම, සෘජුව පාරිභෝගිකයා වෙත අලෙවි නොකර ආහාර සැකසීම, නිෂ්පාදනය හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන Business to Business (B2B) ආහාර නිෂ්පාදන සඳහා ද විශේෂ විධිවිධාන ඇතුළත් කර තිබේ.
සංශෝධිත උපලේඛනය අනුව දියර ආහාරවල සීනි මට්ටම් පහත පරිදි වර්ණ සංකේත මඟින් දැක්විය යුතු වේ.
- මිලිලීටර් 100කට සීනි ග්රෑම් 8.0ට වැඩි නම් – රතු
- මිලිලීටර් 100කට සීනි ග්රෑම් 2.5 සිට 8.0 දක්වා නම් – ඇම්බර්
- මිලිලීටර් 100කට සීනි ග්රෑම් 2.5ට අඩු නම් – කොළ
මෙම නව සංශෝධන මඟින් පාරිභෝගික ජනතාවට තමන් පරිභෝජනය කරන පාන වර්ගවල සීනි අන්තර්ගතය පිළිබඳ නිවැරදි තොරතුරු පහසුවෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, සෞඛ්ය සම්පන්න ආහාර පරිභෝජන රටාවක් ප්රවර්ධනය කිරීම, බෝ නොවන රෝග පාලනය සඳහා ජාතික ප්රයත්නයන් ශක්තිමත් කිරීම සහ ආහාර ලේබල්කරණය ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව තවදුරටත් විධිමත් කිරීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.