Friday, July 03, 2026
Follow Us
ලොව හොඳම දූපත් ගම­නා­න්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවියක් වන 'Big 7 Travel' හි නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව, ලොව හොඳම දූපත් ගමනාන්තය (The Best Island Destination in the World) ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ලොව පුරා සංචාරකයින් මිලියන ගණනකගේ මනාපය, සංචාරක විශේෂඥයින්ගේ ඇගයීම් සහ සමාජ මාධ්‍ය ප්‍රවණතා (Social Media Trends) විශ්ලේෂණය කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

'Big 7 Travel' ආයතනය පෙන්වා දෙන පරිදි, අනෙකුත් දූපත් රාජ්‍යයන් අභිබවා ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්වීමට ප්‍රධානතම හේතු කිහිපයක් බලපා තිබේ.

විවිධත්වයෙන් යුත් සංචාරක අත්දැකීම් තිබීම පෙන්වා දෙන අතර එහිදී ඉතා කෙටි වේලාවකින් රන්වන් වැලි සහිත වෙරළ තීරයක සිට සිතල කඳුකරයක් වෙත ළඟාවීමට ඇති හැකියාව තිබීම ඒ අතර වේ.

සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර එහිදී සීගිරිය, අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි ලෝක උරුම ස්ථාන සතු ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන තිබීම ද මීට හේතු වී තිවේ.

තවද වනජීවී ආකර්ෂණය සහිත වීම එයට හේතු වී ඇති අතර යාල, විල්පත්තුව සහ මින්නේරිය වැනි ජාතික උද්‍යාන තුළදී ආසියානු අලි ඇතුන් සහ කොටින් ඉතා සමීපව නැරඹීමට ලැබේ.

ආගන්තුක සත්කාරය සහ ප්‍රණීත ආහාර අතින් ඉහළ මට්ටමක සිටින ශ්‍රී ලාංකිකයින් සතු සුහදශීලී ආගන්තුක සත්කාරය සහ ලොව පුරා ප්‍රසිද්ධ දේශීය කුළුබඩු මිශ්‍ර ආහාර සංස්කෘතිය මෙවැනි තත්ත්වයක් ළඟා කර ගැනීමට හේතුව තිබේ.

මෙම ජාත්‍යන්තර ඇගයීමත් සමඟ ඉදිරි සංචාරක කාලසීමාවන් (Tourist Seasons) තුළ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාවේ සහ මෙරටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණයේ සුවිශේෂී වර්ධනයක් සිදුවනු ඇතැයි ආර්ථික හා සංචාරක විශේෂඥයෝ අපේක්ෂා කරති.